පොළොන්නරුව මහ රෝහල වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කාර්ය මණ්ඩලය වෙත උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පළ කිරීමෙන් අනතුරුව මේ සඳහා එක් විය.
රුපියල් මිලියන 900 කට අධික වියදමින් රෝහලේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු යටතේ වැඩ අවසන් කළ හෘද කැටීතකරණ ඒකකය විවෘත කිරීම, තෙමහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම, ශරීර සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ආදි සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය තනතුරක් සඳහා නික්ම යන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
රෝහලට පැමිණිම නිමිත්තෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.
සිරිල් ධර්මවර්ධන පදනමෙන් පොළොන්නරුව මහ රෝහලේ දියත් කරන ලද ගිලන් රථ සේවාවේ ආරම්භය සනිටුහන් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් සභා මන්ත්‍රී සම්පත් ශ්‍රී නිලන්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.