නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටලුවක් අවස්ථාවේදී අදාළ පාර්ශවයන්ගේ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් - ජනපති

    නොවැම්බර් 10, 2016

    රට තුළ යම් ගැටලුවක් ඇතිවූ විට අදාළ පාර්ශවයන් පමණක් ඊට සම්බන්ධ වන්නේ නම් එම ගැටලු පහසුවෙන් නිරාකරණය කරගත හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    නමුත් අදාළ නොවන පාර්ශවයන්ගේ මැදිහත්වීම් හේතුවෙන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන බව පැවසූ ජනාධිපතිතුමා පසුගියදා ආබාධිත රණවිරුවන් පිළිබඳ සිදුවීමේදී ද ආබාධිත රණවිරුවන් හෝ රණවිරුවන් නොවන, ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කිරීමේ අරමුණින් ඇතැම් පිරිසක් ඊට මැදිහත්වීම හේතුවෙන් ගැටලු රැසක් මතුවූ බව කියා සිටියේය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීමේ රිදී ජුබිලිය සහ ජාතික සමථ දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (09) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට එක් වෙමිනි.

     

    අධිකරණ අමාත්‍යාංශය සහ ජාතික සමථ මණ්ඩල කොමිෂන් සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර රණවිරුවන්ට මෙලෙස හැසිරිය නොහැකි බවයි.

     

    ඔවුන් සැමදා මාතෘ භූමිය වෙනුවෙන් කටයුතු කරන්නේ අවබෝධයෙන් සහ මනා ශික්ෂණයකින් බව පැවසූ ජනාධිපතිතුමා අසරණ රණවිරුවා භාවිතා කර රට තුළ ගැටුම් ඇති කිරීමට ඇතැම් පිරිස් ගන්නා උත්සහයන් ඉතා කනගාටුදායක බවද ප‍්‍රකාශ කළේය.

     

    සමාජයේ යහපත විනය සහ ශීලාචාරකම ආරක්ෂා කිරීමට මූලිකත්වය ගනිමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සමථ මණ්ඩලයේ කි‍්‍රයාකාරිත්වය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

     

    යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය ජනතාව අපේක්ෂා කරන පරිදි ප‍්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය තුළ පැවති නඩු ගොඩ ගැසීමේ සම්ප‍්‍රදායික ගැටලුවට විසඳුම් ලබාදීමේ අරමුණින් සුළු ආරාවුල් විසඳීම සඳහා අධිකරණමය නොවන අයුරින් යුක්තිය ඉටු කිරීමේ කාර්ය භාරයට නායකත්වය දීම වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල කොමිෂන් සභා පනත යටතේ 1991 වසරේදී සමථ මණ්ඩලය ස්ථාපිත කෙරිණි.

     

    අද වන විට සමථ මණ්ඩල කි‍්‍රයාවලිය දිවයිනේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යාප්ත කරමින් සමථ මණ්ඩල 329 ක් පිහිටුවා ඇති අතර 8400 කට අධික පිරිසක් සමථකරුවන් ලෙස සේවය කරති.

     

    සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීම වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කලාපය සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා සහ ලේකම් ඩී.එම්. කරුණාරත්න යන මහත්වරුන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

     

    සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීම වෙනුවෙන් පැවති නිර්මාණ තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ද, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද නීතිපති ඇතුළු අධිකරණ ක්ෂේත‍්‍රයේ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya