අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු මහා නාහිමියන්ට ජනපතිගෙන් ජන්ම දින සුබපැතුම්

    මැයි 30, 2014

    මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 70 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.


    ඓතිහාසික මාත‍ලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවා‍ව නම් සුන්දර ගම් පියසේදී වර්ෂ 1944 මැයි මස 30 වෙනිදාවක ජන්ම ලාභය ලද අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු ‍මහාවිහාර පාර්ශ්වයේ මහානායක පදවියට පත් කරනු ලැබූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පරම පූජනීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමකි.



    සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මත් සරණත් අවැසි සුවහසක් අසරණ මිනිසුන්ගේ හදවත් සදහම් සිසිලසින් පුරවාලීමේ මහා කාරුණික සිතිවිල්ලත් තම ඒකායන අධිෂ්ඨානය කර ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම දිවියට දහතුන් වසරක් සපිරෙන දා මල්වතු මහාවිහාරීය මංගල උපෝෂථාගාර පුදබිමෙන් සසුන් කෙතට පා තැබූහ.

    වර්ෂ 1964 ජුනි මස 10 වෙනිදා ශ්‍රේෂ්ඨ 'වාහලනාග' නාමයත් සමගින් උතුම් උපසම්පදා සම්පත්තිය ළඟා කර ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තමන් වහන්සේගේ ස්ථිරසාර වූ ශාසනික පැවිදි මෙහෙවරේ නිම් වළලු වඩ වඩාත් පුළුල් කරමින් දිවයිනේ සතර දිග් භාගයේ වෙසෙන දනන් සියල්ලන්ගේම හිත සුව පිණිස අරුත්බර දහම් කරුණු කාරණා අවබෝධ කරවාලීමේ මා හැඟි උත්තුංග කර්තව්‍යය ඇරඹීය.

    අපරිමිත මුනිගුණ නිබඳව සිත්හි දරා මහත් වීර්යයකින් මෙන්ම දැඩි අධිෂ්ඨානයත් පෙරදැරිව ඇරඹි ඒ ගමන් මඟ ඔස්සේ ගමන් ගත් අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එතරම් කලක් ගත වන්නටත් මත්තෙන් හෙළයේ මහා මුදුන් මල්කඩ වන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වීමේ භාග්‍යය ද හිමි කරගන්නට තරම් මහා වාසනාවන්ත වූයේ ඔබ වහන්සේගේ පැවිදි දිවියේ තවත් එක් අමරණීය මං සලකුණක් සනිටුහන් කරවමිනි.



    'යො මුඛසඤ්ඤතො භික්ඛු - මත්තභාණි අනුද්ධතො
    අත්ථං ධම්මං ච දීපෙති - මධුරං තස්ස භාසිතං'

    යම් භික්ෂුවක් තමන් වහන්සේගේ කට තැන්පත් කරගත්තේද තමන්ගේ පමණ දැන කතා කරයිද සන්සුන් සිත් ඇත්තේද එමෙන්ම අර්ථයත් ධර්මයත් මනාව ප්‍රකාශ කරයිද එම භික්ෂුවගේ කතා විලාසය මිහිරි වේ යන උතුම් සම්බුදු වදන් පෙළ අපේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සැබැවින්ම යථාර්ථයක් කළා වූ ආදර්ශවත් මහා තෙර නමකි.



    ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවකින් පෙන්වා වදාළ සවිඤ්ඤාණක - අවිඤ්ඤාණක වූ සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දැන තථාගතයාණන් වහන්සේ පහදා දුන් ඒ උතුම් වූ සද්ධර්මාවබෝධය ලෝකයාට පසක් කරවීමේ භික්ෂුවක් සතු උත්තුංග කාර්යය සැබැවින්ම ඔබ වහන්සේගෙන් විරාජමාන වන්නා සේම ප්‍රශංසනීය ද වේ.

    අද දිනයේ ඔබ වහන්සේ තම දිවියේ 70 වෙනි ජන්ම දිනය මහත් අභිමානයකින් යුතුව සමරන්නා සේම ඔබ වහන්සේගේ පැවිදි දිවියේ ස්වර්ණමය අභිෂේකය වූ ස්ව නිකායත්‍රයේ මහානායක මහා පදවිය ලබා දස වර්ෂ පූර්ණය ද එළැඹෙන ජුනි මස 21 වෙනිදා සපිරීම මහත් භාග්‍යයකි.

    දේශයේ අනන්‍යතාව සුරකිමින් පරම පවිත්‍ර වූ සිල්වත් බවත් ගුණවත් බවත් පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සමුදායක් ඉෂ්ට සිද්ධ කරන ඔබ වහන්සේ සැබැවින්ම ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි. ඔබ වහන්සේගේ අනභිභවනීය වූ ශාසන මාමකත්වයට මා ඇතුළු සමස්ත ජාතියම මේ සුවිශේෂී වූ මොහොතේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන්නේ එවන් වූ දීප්තිමත් සඟ මෙහෙවරක් ඉදිරියටත් ඔබ වහන්සේගෙන් විද්‍යාමාන වනු ඇතැයි යන බලාපොරොත්තු දල්වා ගත් දෑසිනි.

    තම දිවියෙන් පුරා පණස් හත් වසරක්ම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම පූජා කළ අපේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාධි ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා, උතුම් දළදා වහන්සේගේ හා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්, ශ්‍රී පාදස්ථානයේ, අටමස්ථානයේ, සොළොස්මස්ථානයේ පිහිටෙන් දඹදිව සම්බුදු පා පහස ලද සිද්ධස්ථානයන්හි පිහිට හා ආශිර්වාද ලබා සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් නිදුක් නිරෝගීව තවත් චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවා! යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි.

    මහින්ද රාජපක්ෂ
    ජනාධිපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya