නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිත්‍යාග තුළින් ලබා ගත් ජයග්‍රහණ රැක ගනිමු- ජනපති

    මැයි 01, 2015

    වැඩකරන ජනතාවගේ අසීමිත කැපවීම තුළින් ජාත්‍යන්තර කම්කරු දිනය දිනා ගත් නිසා එය අතිශයින් වැදගත් දිනයක් බවත් පරිත්‍යාග තුළින් ලබාගත් ජයග්‍රහණ රැකගන්නට නම් අපගේ සාමූහික බැඳීම් නිරුපද්‍රිතව රැක ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    "ලෝකවාසි වැඩකරන ජනතාව අභිමානයෙන් යුතුව සමරන ලෝක කම්කරු දිනය වෙනුවෙන් අපගේ සහෝදර ජනතාව හා එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙමි.

     

    ජාත්‍යන්තරව සමරනු ලබන සුවිශේෂී දින අතර ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි පළවැනිදා දිනයට අතිශය වැදගත් තැනක් හිමිවන්නේ එය වැඩකරන ජනතාවගේ ලෙයින් කඳුළින් ජීවිත පරිත්‍යාගයෙන් සහ ඔවුන්ගේ අසීමිත කැපවීම තුළින් දිනාගත් නිසාය. එය පීඩාකාරී පාලකයන්ගේ සූරාකෑමට එරෙහිව පෙළගැසුණු පීඩිතයින් විසින් අරගල මගින් දිනාගත් අයිතියකි.

     

    වැඩ කරන ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් උද්යෝගයෙන් හා අභිමානයෙන් යුතුව ක්‍රියාශීලී වීම සඳහා අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත්, සංවිධානය වීමේ හා ක්‍රියාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපනය වී ඇත. එබැවින් අප රජයට කම්කරු හිතෛශී පාලනයක් තුළින් වඩාත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙවර මැයි දින රැලිය පැවැත්වීමට කම්කරු පන්තියට අවස්ථාවක් උරුම කර දීමට හැකිවීම සතුටකි.

     

    පරිත්‍යාග තුළින් ලබාගත් ජයග්‍රහණ රැකගන්නට නම් අපගේ සාමූහික බැඳීම් නිරුපද්‍රිතව රැක ගත යුතු වෙමු. එසේම වැඩකරන ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණවිය යුතුය. ජනතා අපේක්ෂා පෙරට තබා ලැබූ ජයග්‍රහනයෙහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමිකර දීමට අප ක්‍රියා කොට ඇත්තේ එබැවිනි.

     

    මෙවර මැයි දිනය සමරනු ලබන්නේ සඟ- වෙද-ගුරු-ගොවි-කම්කරු යන පංච මහ බලවේග එකමුතුවෙන් දිනාගත් ජනතා ජයග්‍රහනයක උණුසුම ද අත්විදිමිනි. එහෙයින් ම යහපාලනය සාධනයෙහිලා එකාවන්ව ඇපකැපවීමේ අධිෂ්ඨානය ද පෙරදැරිව සමස්ත කම්කරු ජනතාවට 2015 මැයි දිනය නිමිත්තෙන් මාගේ උණුසුම් ආචාරය සහ ප්‍රණාමය පුද කරමි" යනුවෙන් එහි සඳහන් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya