අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් දින පණිවුඩය,
සොබාදහම පවා වසන්ත සිරියෙන් පිරිපුන් ව සමස්ත පරිසරයම නැවුම් වන වෙසක් මාසයේ බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන්නට අපි දු පිළිවෙතින්, යහගුණයෙන්, දැහැමි බවින් සැරසෙමු. ‘මෙත් සිතින් ගුණ වඩමු’ යන්න රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව ලෙස උත්කර්ෂයට නැගෙන්නේ ද එකී පරමාර්ථයෙනි.
චින්තනයේ වෙනසක් සමඟ බුදු දහමේ අර්ථ සම්පන්න වටිනාකම් ජීවිතයට ළං කර ගනිමින් සැබෑ බුදු දහමේ ආලෝකය වඩ වඩාත් සමාජය වෙත ගෙන යා යුතු යුගයකි මේ. බෞද්ධ දර්ශනය වෙත මුළු ලොවේම අවධානය යොමු වෙමින් පවතින මෙවන් සමයක බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ලෙස අපි වඩ වඩාත් එම ධාර්මික හරයෙන් පෝෂණය විය යුතු වෙමු. පරමාදර්ශී විය යුතු වෙමු.
නව රජය පත්වීමත් සමඟ බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් බුද්ධ ධර්මයේ ආලෝකයෙන් අධ්‍යාත්මිකව සුවපත් වූ සමාජයක් ගොඩනැගීම උදෙසා කටයුතු කරමින් සිටිමු. ජාති, ආගම් භේද දුරලමින් මෙත් සිත් පෙරදැරිව අන් සියලූ ආගම්, ජාතීන්වල සහෝදර ජනතාව සමඟ සාමයෙන් සමඟියෙන් ජීවත් වීමේ අවකාශය දැන් ගොඩනැඟෙමින් පවතී.
උතුම් වූ වෙසක් උත්සවය සැණකෙලියක් බවට පත් කර නොගෙන, සමස්ත ලාංකේය ජනතාව සමඟ අධ්‍යාත්මික දියුණුව සහ සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට පිළිවෙතින් පොහොසත් වෙමු.
එකී උත්තරීතර වගකීම දරන්නට සැම සිත් පහන් වේවා.
තෙරුවන් සරණයි.