මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තියයි

    මාර්තු 11, 2015
    නොබැඳි පිළිවෙත අනුව සියලු ම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    සංවර්ධන කටයුතුවලදී සියලු රටවල සහය ශී‍්‍ර ලංකාවට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ හොඳ හිත වර්ධනය කර ගැනීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව පැවසීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆැලන්ඩ් මහතා සමඟ පසුගියදා පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේ දී ය.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වත්මන් රජය කටයුතු කරන්නේ නව සැලැස්මක් අනුව බවයි. විදේශ ප‍්‍රතිපත්තිවලට ද නැවුම් මුහුණුවරක් ලබාදෙමින් කලාපයේ රටවල් සමඟ ඇති මිත‍්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. 
     
    ශී‍්‍ර ලාංකික ජනතාව තමා ජයග‍්‍රහණය කරවූයේ බිය සැක නැති රටක් ගොඩනැගීමට බව ද පැවසූ ජනාධිපතිතුමා එම අරමුණු ඉටුකරන අතර ම දුගීබවින් තොර ආදායම් පරතරය නැති රටක් ගොඩනගන බව ද ප‍්‍රකාශ කළේය.
     
    ජාත්‍යන්තර කටයුතුවලදී මෙන්ම මානව හිමිකම් කවුන්සලයේ දී බි‍්‍රතාන්‍යයේ සහය ශී‍්‍ර ලංකාවට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවට විශාල අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ සහය අපේක්ෂා කරන බව ද පැවසීය. 
     
    රටට මත්ද්‍රව්‍ය ගලා එන මාර්ග පිළිබඳ දැනුවත් කළහොත් එය වැළැක්වීමට උපරිම සහය ලබාදිය හැකි බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    උතුරු නැගෙනහිර පළාත්වල කටයුතු පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ත‍්‍රස්තවාදය අවසන් වී වසර 05ක් ඉක්ම ගිය ද එහි ජනවර්ග, භාෂා සහ ආගම් අතර එකඟතාවක් තවමත් ඇති වී නොමැති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. එම තත්ත්වය නැති කර සියලු ජනතාව අතර අවබෝධය, විශ්වාසය සහ එකඟතාව ගොඩනැගීම වත්මන් රජයේ මූලික අරමුණ බව කියා සිටියේය. 
     
    උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී බි‍්‍රතාන්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ පැසසුමට ලක් විය.
     
    ආරක්ෂක හමුදා විසින් තම කටයුතු සඳහා යොදාගෙන තිබු ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදිමේ වැඩපිළිවෙළ මේ වන විට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කර ඇති බවත් කොළඹ ප‍්‍රදේශයේ ඇති එවැනි ඉඩම් ද එහි හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා පැවසීය. 
     
    උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට රජයේ සියලු ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අතර හමුදා ආණ්ඩුකාරවරයා වෙනුවට එම ජනතාවගේ පරිපාලන කටයුතු වෙනුවෙන් සිවිල් පරිපාලන නිලධාරියෙකු ද පත්කර යවා ඇති බව ද ප‍්‍රකාශ කළේය. 
     
    හමුදා සාමාජිකයන් සාමසාධක කටයුතු සඳහා යොමු කරන ලෙස මෙහිදී බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළ අතර දැනටමත් ඔවුන්ගේ සේවය හයිටි වැනි රාජ්‍යයන්ට ලබාදී ඇති අතර ගුවන් යානා පවා එලෙස යොමු කර තිබෙන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබඳ මෙහිදී බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් විමසූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිතුමා පැවසුවේ ඉන්දියාව සිය අසල්වාසි මිතුරු රාජ්‍ය වන අතර චීනය කලෙක සිට ශී‍්‍ර ලංකාවේ සුවිශේෂි මිතුරෙකු බවයි. එම රටවල් සමඟ තම රජය කටයුතු කරන්නේ දැඩි අවබෝධයකින් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අභියෝග භාර ගන්නා අන්දම සහ ඒවට මුහුණදෙන අන්දම මෙහිදී බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක්වූ අතර නව රජයේ කටයුතු සාර්ථක කර ගැනීමට තම සුබපැතුම් පළ කර සිටියේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya