මෙරට ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර දෙරට ගැටලු පවතින ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ඉන්දීය ධීවරයින් මුහුදු සීමා උල්ලංඝණය කිරීම මෙන්ම නීති විරෝධී පන්න ක්‍රම උපයෝගී කර ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් එය සාගර කලාපයේ මත්ස්‍ය සම්පතට ගැටලුවක් විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දීය මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නේ දැනටමත් වට කිහිපයක් පවත්වා ඇති දෙරටේ ධීවර නියෝජිත සාකච්ඡා වඩාත් සක්‍රීය කිරීමෙන් ගැටලු නිරාකරණයට අවස්ථාවක් සැලසෙන බවයි. දෙරටේ ධීවර නියෝජිතයින්ට අවසන් එකඟතාවක් සකස් කර ගැනීම සඳහා මූලික අවබෝධයක් එමගින් නිර්මාණය වන බව ද මහකොමසාරිස් වයි.කේ.සිංහා මහතා පෙන්වා දුන්නේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවේශයක් පෙන්නුම් කර තිබේ. එය සාධනීය ලෙසින් ගැටලුව විසඳා ගැනීමට වඩාත් පහසුවක් වනු ඇති බව ද මහකොමසාරිස්වරයා පැවසීය.
ලබන සතියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඊට පෙර දෙරටේ ධිවර නියෝජිත හමුවක් පවත්වා එහි දී ලබා ගන්නා තීරණ උපයෝගී කර ගනිමින් අදාළ සංචාරයේ දී ඉදිරි සාකච්ඡා පවත්වාගෙන යාමට අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එසේම ධිවර අමාත්‍යවරයා මෙහිදී මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේ උතුරේ මහ ඇමතිවරයා සමඟ ද ධීවර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට පැමිණීමට පෙර යාපනයේ දී උතුරේ මහ ඇමතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තමන් සැලසුම් කරන බව එහිදී මහකොමසාරිස්වරයා පැවසීය.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස, ධිවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
kpm