සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් මෙහෙයුමේ දී හමුදාව සතු වූ රත්රන් යළිත් නිය ම අයිතිකරුවන් වෙත

    නොවැම්බර් 26, 2014
    පුරා තිස් වසරක් කාලයක් තිස්සේ උතුරේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමකිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මානුෂීය මෙහෙයුමේ දී යුද හමුදාව විසින් සොයා ගන්නා ලද රත්‍රං පිළිබඳ ව නොයෙක් අවස්ථාවල දී මාධ්‍යන් විසින් විවිධ කරුණු ප්‍රසිද්ධ කළ ද එකී රත්‍රං තවමත් හමුදාව භාරයේ ඉතා සුරක්ෂිතව ඇති බවත් ඉතා නුදුරේ දී ම හමුදාව විසින් ඒවාගේ නියම හිමිකරුවන් සොයා ඒවා භාරදීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවත් යුද හමුදාපති ලුතිතන් ජනරල් දයා රත්නායක මහතා අනාවරණය කර සිටියේය.
     
    ඒ මහතා මේ බව අනාවරණය කළේ අද (26) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීය. 
     
    යුද්ධයේ අවසන් අවස්ථාව වන විට එල්ටීටීඊය විසින් පවත්වාගෙන යන ලද උකස් කිරීමේ මධ්‍යස්ථානවල හා වෙනත් අය විසින් පවත්වාගෙන එවැනි ස්ථානවල තිබූ රත්‍රං එල්ටීටීඊ සාමාජිකයන් විසින් රැගෙන පලා ගිය ද අවසානයේ දී මුලතිව් ප්‍රදේශයේ දී ඒවායින් බොහෝ ප්‍රමාණයක් සොයා ගැනීමට හමුදාව සමත්විය. 
     
    කෙසේ වෙතත් අවසන් අවස්ථාවේදී මේවා අක්‍රමවත් ලෙස එල්ටීටීඊය විසින් ලබා ගෙන තිබීම හේතුවෙන් එකි රත්‍රං බඩු සහිත පැකට් සමහරක ඒවාගේ අයිතිකරුවන් පිළිබදඳ කිසිදු සඳහනක් කර තිබූ නැති බව පැවසූ දයා රත්නායක මහතා ඒවාගේ අයිතිකරුවන් සොයා ගැනීම පිළිබඳ ව ද තවදුරටත් හමුදාව විසින් කටයුතු කරමින් සිටින බවද පැවසූ අතර මේ වන විට ඒවාගේ තිබූ සටහන්වලට අනුව හමුදාව සතුව ඇති එවැනි රත්‍රන් පැකට් 2379න් 1960ක නියම අයිතිකරුවන් හඳුනාගෙන ඒ පිළිබඳ ව ඔවුන් හමුවී දැනුවත් කර ඇති බවද පවසා සිටියේය.
     
    එසේ ම මෙම රත්‍රං නැවත ආපසු දීම සංකේතවත් කිරීම පිණිස ජනාධිපතිතුමා පසුගිය ඔක්තෝබර් මාසයේ දී කිලිනොච්චියේ කරන ලද සංචාරයේ දී ඒවායින් කොටසක් නියම හිමිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලද බවත් පැවසූ හමුදාපතිතුමා මේ වන විට නියම අයිතිකරුවන් හඳුනාගෙන ඇති ඉතිරි රත්‍රං තොගය ලබන මාසය තුළදී ඒවාගේ අයිතිකරුවන් කොළඹට ගෙන්වා ජනාධිපතිතුමා අතින්ම ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බවද මෙහිදී පවසා සිටියේය.
     
    ඒ අනුව මේ වන විට හඳුනාගෙන ඇති පරිදි මන්නාරම් ප්‍රදේශයේ 223 දෙනෙකු ද, වවුනියා ප්‍රදේශයේ 319 දෙනෙකු ද, යාපනය ප්‍රදේශයේ 45 දෙනෙකු ද, කිලිනොච්චි ප්‍රදේශයේ 1137 දෙනෙකු හා මුලතිව්හි 186 දෙනෙකුට ඔවුන්ට හිමි රත්‍රං ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී හමුදාපතිතුමා විසින් අනාවරණය කර සිටියේය. කොළඹට පැමිණීම සඳහා ඔවුනට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ද යුද හමුදාව විසින් සපයන ලද බවද මෙහිදී අනාවරණය කරන ලදී.
     
    එසේ ම මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉදිරියේ දී ඉතිරි රත්‍රංවල නියම හිමිකරුවන් සොයා ගැනීම සඳහා තවදුරටත් සොයා බැලීමේ කටයුතු සිදු කරන බවත් යම් හෙයකින් ඒවාගේ නියම හිමිකරුවන් සොයා ගැනීමට නොහැකි ඒවා වෙතොත් ඒවා නිසි අයුරින් මහා භාණ්ඩාගාරයට භාරදීමට කටයුතු කරන බවත් දයා රත්නායක මහතා අවධාරණය කර සිටියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya