මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැහැණු දරුවා ආරක්ෂා කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රබල වගකීමක්

    ඔක්තෝබර් 13, 2014
     
    දියණියන් ආරක්ෂා කිරීමේ වගකීම පසක් කරලීමට සමස්ත ලෝකයේ ම අවධානය යොමු කරමින් ඇය වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් වෙන්කර ති‍බීම ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රබල වගකීමක් ඉටුකළ අවස්ථාවක් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
    සෑම කාන්තාවක් ම තම දියණිය හෝ සහෝදරිය හෝ මව ලෙස සිතා කටයුතු කරන්නේ නම් ලෝකය මීට වඩා සිය දහස් ගුණයකින් සුන්දර වන බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    2014 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වන ජාතික උත්සවය පසුගිය (11) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහරගම ‍යොවුන් රඟහලේ පැවති අවස්ථාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
     
     “දියණිය, ඔබයි අපේ අනාගතය” යන තේමාව යටතේ ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දින සැමරුම මෙවර පවත්වනු ලැබුවේ තෙවන වරටයි.
     
    මුලින් ම 2012 වසරේ දී සමස්ත ලෝකය ම ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබීය. 2011 වසරේ දී නිව්යෝර්ක් නුවර පැවති කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 55 වැනි සභා වාරයේ දී වූ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව මෙලෙස සෑම වසරක ම ඔක්තෝබර් මස (11) ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරිණ.
     
    මේ අතර පසුගියදා මහරගමදී පැවති ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දින ජාතික උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “ලෝකයේ සෑම රටක ම වාසය කරන ගැහැණු දරුවන් මුහුණදෙන ප්‍රබල ගැටලු වලට විසඳුම් ලබාදෙමින් ඇය කෙරෙහි සමාජය තුළ පැවතිය යුතු අවධානය දැඩි විය යුතු බව අවධාරණය කරමින් ද මෙවැනි දිනයක් වෙන්කර තිබීම අතීතයේ දියණියට වූ යම් අසාධාරණයක් නිවැරදි කිරීමක් ලෙස දැක්විය හැකියි.
     
    එමෙන්ම මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ද අත්වැල් බැඳගැනීම සතුටට කරුණකි.
     
    මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීම තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 11 වන සැසිවාරය ද මීට සමගාමී ව මෙහි දී පැවැත්වෙන බැවිනි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට ආරම්භ කර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හා විද්‍යාපීඨ මඟින් නගරයේ මෙන් ම ගමේ දරුවාටත් අනාගතය ජයගන්න අවස්ථාව උදා වී තිබෙනවා.
     
    ළමා අපයෝජන, කාන්තා හිංසන තිබෙන ඇතැම් දියුණු යැයි සම්මත රටවල් අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ව අපට උපදෙස් ලබාදීම ගැන කණගාටු වෙනවා. කොටි ත්‍රස්තවාදීන් එදා ළමා සොල්දාදුවන් ලෙස බඳවාගෙන සිටි උතුරු නැගෙනහිර අහිංසක දරුවන් අද දකුණේ අනෙක් දරුවන් මෙන් නිදහසේ ජීවත් වෙනවා. අද මේ රටේ ගැහැණු දරුවන් ඇතුළු සියලු දරුවන්ට සෞඛ්‍ය අධ්‍යාපන ආදී පහසුකම් උපරිම ලෙස ලබාදීමට රජය ක්‍රියාකර තිබෙනවා.
     
    ඒ වගේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනමාධ්‍යට විශාල වැඩ කොටසක් සිදු කළ හැකියි. ඇතැම් මාධ්‍ය දරුවන් අපයෝජනයට පත් වූ පසු ඒ පිළිබඳ වාර්තා කිරීමේ දී මාධ්‍ය ආචාරධර්ම පවා අමතක කරනවා.
     
    අද යොවුන් වියේ තරුණිය හෙට දයාබර බිරිඳක්, සෙනෙහෙබර මවක් ලෙස රට දැය වෙනුවෙන් අමිල මෙහෙයක් සිදුකරන කෙනෙක්. එසේ නම් අද දවසේ ඇය පෝෂණය කිරීම මෙන්ම දැනුමෙන්, බුද්ධියෙන් සන්නද්ධ කර අනාගත අභියෝග ජයගැනීමට ඇය වැඩි වැඩියෙන් දිරිමත් කිරීම හෙට දවසේ රටේ ම අනාගතය පිළිබඳ ධනාත්මක අපේක්ෂා තබාගත හැකි කාරණයක් වේ.
     
    අද නව යොවුන් වියේ සිටින දයාබර දියණිය හෙට ජාතියේ මවයි. එනිසා ඇය ආරක්ෂා කිරීම යනු ජාතිය ආරක්ෂා කිරීමයි.”
     
    මෙහිදී ළමා සංවර්ධනය සහ ශ්‍රී ලාංකේය දියණිය වෙනුවෙන් සිදු කළ මෙහෙය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය වෙත පිරිනමනු ලැබීය.
     
    එමෙන් ම සෑම ළමා හිතකාමී නිවසකම ඇලවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ස්ටිකරය ද ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය විසින් සම්පාදනය කරන ලද  Because I am a girl ද මෙහි දී ජනපති ආර්යාවට පිරිනමන ලදී.
     
    මෙවර ශ්‍රී ලංකා යූත් පාර්ලිමේන්තු සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය මාතරගේ ෂොනලි ද සිල්වා මෙනවිය වෙත අදාළ සමරු තිළිණය ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය විසින් පිරිනමනු ලැබීය.
     
    මේ අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකා තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැබලන ලේකම් අශෝකා අලවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන්, යෞවන  කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරීන් සහ පාසල් දරු දැරියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya