මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගයේ මගී බස් රථ සඳහා ජංගම දුරකතන මඟින්ආසන වෙන්කිරීමේ පහසුකම්

    ඔක්තෝබර් 13, 2014
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම - ගාල්ල පොදු මගී ප්‍රවාහන සේවා බස් රථවල ගමන් ගන්නා මගීන් සඳහා ජංගම දුරකතන මඟින් පූර්ව ආසන වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ මස (21) දින ආරම්භ කෙරේ.
     
    ජාතික ගමනාගමන කොමිෂම් සභාව, මොබිටෙල් ආයතනය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, පළමු අදියර යටතේ නියමු ව්‍යාපෘතිය  සඳහා වන  ගිවිසුම පසුගිය (10)දා ජාතික ගමනාගමන කොමිෂම් සභාවේදී  අත්සන් කරනු ලැබීය.
     
    බස් රථ සේවාව සඳහා නවීන තාක්ෂණය එක් කර ගනිමින් මගී ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව මෙහිදී අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂම් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.    
     
    ආසන  වෙන් කිරීමේ නව සේවාවේදී මගියා සිය ගමන යෑමට අපේක්ෂිත දිනයට පෙර සති දෙකක කාලයක සිට  අදාළ බස් රථයේ ගමන් ආරම්භ කිරීමට නියමිත වේලාවට පැයකට පෙර කාල සීමාව තුළ මොබිටෙල්  ජංගම දුරකතනයක් මඟින් අංක 365 ඇමතීමෙන් තම ආසනය වෙන් කර ගත හැකිය.  
     
    මෙහිදී ජංගම දුරකතනය මඟින් මගියා ආසනයක් වෙන් කරගත් පසු ඒ සඳහා වන රහස්‍ය අංකයක් මගියාගේ දුරකතන අංකයට කෙටි පණිවුඩයක් මඟින් ලැබෙනු ඇත.  එම රහස්‍ය අංකය, අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාට යොමු කළ විට කොන්දොස්තරවරයා විසින් ආසනය සඳහා නියමිත ටිකට්පත නිකුත් කරනු ලබයි.
     
    මෙම ක්‍රමය තුළින් මගීන්ට අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමකින් තොරව ඉතා පහසුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක ආසන වෙන් කර ගැනීමට හැකියාව ලැබෙන අතර බස් හිමියාට ද ඉතා විශ්වාසදායී ලෙස සුරක්ෂිතව තම ආදායම ලබාගැනීමේ හැකියාව පවතී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බස් ධාවකයන්ට අවශ්‍ය  ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර ද එදින නොමිලේ ලබාදෙන ලදී.
     
    මේ මස 21 දින ආසන වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියේ ආරම්භය මොබිටෙල් දුරකතන ජාලයෙන් සිදුකෙරුණද, මෙම සේවාව ස්ථාවර  ලෙස ව්‍යාප්ත කිරීමේදී අනෙකුත් ජංගම දුරකතන ජාලයන් හරහාද ඉහත අංකය අමතා ආසන වෙන් කර ගැනීමට හැකි වන ලෙස සේවාව පුළුල් කිරීමටත්, අන්තර්ජාලය හරහා ද ආසන වෙන්කිරීමේ සේවාව ලබාදීමටත්  සැලසුම් කර තිබේ.
     
    ඉදිරියේදී නව මාර්ග බලපත්‍ර ලබාදීමට සැලසුම් කර ඇති  කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයේ  නව මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී ද ඊට සමගාමී ව මෙම ආසන වෙන් කිරීමේ සේවාවද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපති රේණුක පෙරේරා මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya