මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් ටිකට්පත් වෙන්කිරීම සහ මිල ගණන් ගණනය කිරීමේ පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 15, 2014

    ගුවන් ටිකට්පත් වෙන්කිරීම සහ මිල ගණන් ගණනය කිරීමේ පාඨමාලාව සඳහා අයදුම්පත් මේ දිනවල කැඳවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.


    මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, "ගුවන් ගමනක දී අනිවාර්යයෙන්ම වලංගු ප්‍රවේශ පත්‍රයක් මගියා සතුවීම සිදු විය යුතු දෙයකි. ගුවන් ටිකට් පත් ලබා ගැනීම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවාවල මෙන් එනම් බස් රථයක් තුළදී හෝ කුලී රථයක මෙන් ගමන අවසානයේ ගෙවීම් කිරීම ආදී ලෙස සිදු කළ නොහැකි දෙයකි. ගුවන් ගමනක දී එම ගමනට ප්‍රථම තමන් ගමන් කරන ගමනාන්තය වෙත ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන ආසනයක් වෙන් කරවා ගත යුතුය. මෙසේ ආසනයක් වෙන් කිරීමේදී තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන ගමනාන්තයට ළඟා විය හැකි කෙටි ම මාර්ගය හෝ ගමන යා යුතු ආකාරය අනුවත් අවම මිල ගණන් හෝ උපරිම පහසුකම් සහිතව යනාදී ලෙස ප්‍රවේශපත්‍රය වෙන් කරවා ගත හැකිය. මෙය මගියාගේ කැමැත්ත අනුව සිදු වන දෙයක් වන අතර, ඍජුව ම ගුවන් සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගොස් තමන්ගේ අවශ්‍යතාව පවසා ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන ආසනයක් වෙන් කරවා ගැනීම කළ හැකිය. මෙහිදී බොහෝ විට මගියාට ප්‍රවේශපත්‍රය වෙන් කරවා ගැනීමට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා දැනුමැති අයෙකුගේ සහය ලබා ගත යුතුවේ. අන්තර්ජාලය මගින් ද ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි මුත් අප රටේ එම ක්‍රමය තවමත් එතරම් ජනප්‍රිය මට්ටමක නොමැත.

    මෙසේ සහය ලබා දෙන්නා එම කාර්යය පිළිබඳව දැනුමක් ඇති අයෙකු විය යුතු අතර, ඒ සඳහා මනා පුහුණුවක් ලබා තිබිය යුතුය. දැනට ශ්‍රී ලංකාවේ මෙවන් පුද්ගලයින් පුහුණු කරනු ලබන ආයතන බොහෝ දක්නට හැකි නමුත් ඇතැම් ආයතනවලින් අධ්‍යාපනය ලබා ගන්නා පුද්ගයින්ට නිවැරදිව ඒ දැනුම නොලැබෙන බවත්, ඒ හේතුවෙන් අවසානයේ මගීන්, ගුවන් සමාගම් හා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන ආයතන විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනගන්නට ලැබිණ.

    ඒ අනුව විවිධ ක්‍රියාමාර්ග ගත් අතර අන් අයටත් ආදර්ශයක් වන අයුරින් ගුවන් ටිකට් පත් නිකුත් කිරීම පිළිබඳ පාඨමාලාවක් පවත්වාගෙන යාම ඉන් ප්‍රධාන ස්ථානයක් ගනී. ඒ අනුව 2009 වර්ෂයේදී මුලින්ම මෙම පාඨමාලාව ආරම්භ කළ අතර, එය සති 10ක කාලයක් සඳහා සැලසුම් කෙරිණ. විශේෂයෙන් ඒ අවස්ථාවේ පැවති අවශ්‍යතාව අනුව විෂය මාලාව විද්වත් මණ්ඩලයක් මගින් සකස් කළ අතර එමගින් පාඨමාලාව හදාරන්නන් සඳහා ඉහළ දැනුමක් සහතික කෙරිණ. එලෙසම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ක්ෂේත්‍රයේ වෙනත් ආයතන පිළිබඳ ව සහ ඉදිරිපත් කිරීමේ කුසලතාවන් වර්ධනය කිරීම් සහ පුද්ගල සංවර්ධන වැඩමුළු ආදියද මෙම විෂය ක්ෂේත්‍රයට අමතර ලෙස ඇතුළත් කෙරිණ.

    කෙතරම් විෂය කරුණු ඉගැන්වුවද ඒ දේ ප්‍රායෝගිකව දැක ගැනීමෙන් ලබන දැනුම ඉතා ඉහළ බව විශ්වාස කරන සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පාඨමාලාවේ සුවිශේෂි අංගයක් ලෙස සම්පූර්ණ දිනයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ක්‍රියාකාරකම් දැක බලා ගැනීමටත් ගුවන් යානයකට පිවිසීමටත් අවස්ථාව සලසා දෙනු ලබන ගුවන් තොටුපළ චාරිකාවක් ද මේ සියලු දේට අමතරව පාඨමාලාව හදාරන සිසුන්ට ලබා දෙනු ලැබිණ. එය සිසුන් අතර ඉතා ඉහළ ජනප්‍රියතාවක් හිමි කර ගත් අවස්ථාවක් වූ අතර වෙනත් ආයතනවල සිසුන්ට නොලැබෙන විරල ගණයේ අත්දැකීමක් ද විය.

    මෙම පාඨමාලාවේ ඉගැන්වීමේ කටයුතු සඳහා තෝරා ගනු ලැබූවේ මෙම ක්ෂේත්‍රයේ ඉතාම ඉහළ දැනුමක් සහ මෙම විෂය ඉගැන්වීම පිළිබඳ පළපුරුද්දක් ඇති දේශකවරියක් වන අතර ඇය “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ වසර 22ක පමණ සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, මෙම විෂය ඉගැන්වීම පිළිබඳව වසර 16ක පමණ අත්දැකීම් ඇත. ඒ වගේම මෙම විෂය ඉගැන්වීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රවීණතාවක් ලබාගත් තැනැත්තියකි. ඇයගේ මෙම ඉතා ඉහළ හැකියාව නිරතුරුවම සිසුන්ට ලබා දීම නිසා පාඨමාලාවේ ගුණාත්මක බව ඉතා ඉහළ මට්ටමක රඳවා ගැනීමට හැකියාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබී ඇත.

    දැනට කණ්ඩායම් 7ක් සම්පූර්ණ කර ඇති මෙම පාඨමාලාව මගින් ඉතා ඉහළ ප්‍රායෝගික දැනුමැති සිසුන් 100ට ආසන්න ප්‍රමාණයක් ක්ෂේත්‍රයට දායාද කර ඇත. ඒ අතරින් මෙම පාඨමාලාව මූලික සුදුසුකම කර ගනිමින් රැකියා ලබා ගත්තවුන් 90කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා වෙනත් විදේශීය ගුවන් සමාගම්වලද දිවයිනේ ප්‍රමුඛ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන ආයතනවල ද සේවය කරනු ලබයි. විශේෂයෙන් එවන් ආයතන අප සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිසුන් තම ආයතනවලට බඳවා ගැනීමට ඉතා ඉහළ උනන්දුවක් දක්වනු ලබන අතර දැනට පවතින ඉල්ලුමට පුද්ගලයින් සැපයීමට පවා අපහසු වී ඇත.

    මෙම පාඨමාලාව හැදෑරීම මගින් සිසුන්ට සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳවද දැනුමක් ලැබෙන නිසා බොහෝ විට ගුවන් සේවා ක්ෂේත්‍රයේ වෙනත් පාඨමාලා හදාරා ඉතා ඉහළ වැටුපකට ගුවන් සමාගම් හා එක්වීම ද අප සිසුන්ගේ එක් ප්‍රවණතාවකි. මෙම පාඨමාලාවේ ගාස්තුව ඉතා අවම මට්ටමක පවතින නිසා බොහෝ දෙනෙකුට ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා ගැනීම මෙය පහසුම මාර්ගයක් වන අතර එමගින් වෙනත් ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ වෙත යොමු වීමට පහසු වීම විශේෂ ලක්ෂණයකි."

    මෙම පාඨමාලාව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන අතර මෙම පාඨමාලාවේ නව වන කණ්ඩායම සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවා ඇත. www.caa.lk/downloads යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබා ගත හැක. වැඩි දුර විස්තර එම වෙබ් අඩවියෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය මගින් හෝ දූරකතන අංක 0112358812 මගින් ඉෂාර ගුණවර්ධන මහතා අමතා ලබා ගත හැකිය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya