මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වින්දිත දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් පරිවාස සේවාව ශක්තිමත් කෙරේ

    අගෝස්තු 14, 2014


    අවාසි සහගත තත්ත්වයට පත් වූ දරුවන් මෙන්ම නීතිය හා ගැටුණු පුද්ගලයන් වෙනුවෙන් වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට දිවයිනපුරා විසිරී සිටින පරිවාස නිලධාරීන්ගේ සේවය ශක්තිමත් කෙරේ.

    මේ අනුව පළාත් සභා යටතේ  දිවයිනේ විවිධ  ප්‍රදේශවල සේවය කරන දෙසිය හැටකට අධික වූ පරිවාස නිලධාරීන් මුහුණදෙන විවිධ වූ ගැටලු හා බාධා හඳුනා ගනිමින් ඒ සඳහා කඩිනම් ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා වූ සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ වාර්ෂික සංස්කරණ සම්මේලනය පසුගියදා මහනුවර, පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    මේ මස 12,13 සහ 14 යන තෙදිනපුරා මෙම සංස්කරණ සම්මේලනය පැවැත්විණි.1956 වසරේ ආරම්භ වූ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පළාත් සභා ස්ථාපිත වන තෙක් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක විය.මේ වන විට පළාත් සභා හරහා ක්‍රියාත්මක වන පරිවාස සේවය එක් එක් පළාත් සභා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක කිරීම නිසා විවිධ පරස්පරතාවන් රාශියක් හඳුනාගෙන ඇති අතර එම විෂමතාවන් අවම කරගනිමින් පරිවාස දෙපාර්තමේන්තුවේ සේවාව නිවැරදි එකම ක්‍රමවේදයක් ඔස්සේ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙවර පරිවාස නිලධාරීන්ගේ සංස්කරණ සම්මේලනය පැවැත්වෙයි.



    වරදකරුවන් පුනරුත්තාපනය හා භාරය, මෙන්ම ආරක්ෂාව අවශ්‍ය දරුවන් වෙනුවෙන් කටයුතු කරන පරිවාස නිලධාරීන් නිරන්තරයෙන් විවිධ වූ ගැටලු සම්බන්ධයෙන් යොමුවන පුද්ගලයින් සමඟ කටයුතු කරන බැවින් ඔවුන් තුළ ඇති වන යම් මානසික පීඩනයන් දුරුකොට යහපත් මානසික මට්ටමකින් යුතුව කටයුතු කිරීම සඳහා එම නිලධාරීන් මෙහෙයවීම ද මෙම සංස්කරණ සම්මේලනය පැවැත්වීමේ අරමුණකි.

    එමෙන්ම පරිවාස නිලධාරීන් තුළ යහපත් ආකල්ප සංවර්ධනය කර ධනාත්මක චින්තනය තුළින් වඩාත් තෘප්තිමත් සේවාවක් සැපයීමට ඔවුනොවුන් තුළ ඇති දැනුම, ආකල්ප කුසලතා මෙන්ම අත්දැකීම් හුවමාරු කරගැනීම ද මෙමගින් අපේක්ෂිත ය.විවිධ හේතු නිසා  අසරණ තත්ත්වයට පත් වූ දරුවන්ගේ සහ ළමා අපචාරවලට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ  අනාගතය අලෝකමත් කිරීමට ඉතා ගැඹුරින් කටයුතු කරන පරිවාස නිලධාරීන්ගේ සේවය නිසි ඇගයීමට ලක්විය යුතු බවත්, වසරකට එක් ළමා නිවාසයක් වසා දැමීමට හැකිවන ලෙස දරුවන්ගේ සංවර්ධනය සඳහා වැඩසටහන් ආරම්භ කළ යුතු බවත් පොල්ගොල්ල පැවති පරිවාස නිලධාරීන්ගේ සම්මේලනයට සහභාගි වෙමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    සමාජයේ නිවැරදි මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන පරිවාස නිලධාරීන් සඳහා විදේශ පුහුණුව, උපදේශන වැඩසටහන් ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇති බවත්, ඔවුන්ගේ සේවය ශක්තිමත් කිරීම යනු සමාජයේ යහපැවැත්ම ආරක්ෂාවීම බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහි දී පැවසීය.

    අවාසි සහගත තත්ත්වයට පත් වූ දරුවන් හා නීතිය සමඟ ගැටුණු පුද්ගලයින් වෙනුවෙන් සිදුකෙරෙන නීතිමය කටයුතුවලදී පරිවාස නිලධාරීන් අධිකරණ පද්ධතිය හා සම්බන්ධ වීමේ දී මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීමට ද මෙම සංස්කරණ සම්මේලනය තුළින් පියවර ගෙන තිබේ.
    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබූ රංජනී සමරකෝන්, ගීතා සමරතුංග යන මහත්මීන් වෙත සමරු තිළිණ පිරිනැමීම ද මෙහි දී අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා අතින් සිදුකෙරිණි.

    මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභ සාධන පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. කැකුලන්දර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ කථිකාචාර්ය බී.කේ.එස්. කරුණාරත්න, සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ. කීර්තිරත්න යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ.

    බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද යන පළාත්වල පරිවාස කොමසාරිස්වරුන් ඇතුළු දිවයිනපුරා සේවය කරන පරිවාස නිලධාරි නිලධාරිනියන් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya