මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාව ලෝකයේ රටවල් අතර ඇති විශාලතම සබඳතාවයි - ඉන්දීය මහ කොමසාරිස් Featured

    අගෝස්තු 14, 2014

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව ඉතාම ශක්තිමත් මට්ටමක පවතින බවත් එය රටවල් දෙකෙහි දේශපාලඥයන් අතරේ පමණක් නො ව ජනතාව අතර ද පවතින බවත් මෙම සම්බන්ධතාව ලෝකයේ රටවල් අතර ඇති විශාලතම සබඳතාව ලෙස පෙන්වාදිය හැකි බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ප්‍රකාශ කළේය.

     

    "ඉන්දියා සහ ශ්‍රී ලංකා - කාලය අබිබවන ලද හවුල්කාරිත්වයක්" (India and Sri Lanka - A Partnership That Transcends Time) නමැති ග්‍රන්ථය එළි දැක්වීම නිමිත්තෙන් කොළඹ දී ඊයේ (13) පැවැති උත්සවයකට එක්වෙමින් මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.


    ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මඟින් එම ග්‍රන්ථය සම්පාදනය කෙරිණි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහකොමසරිස්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවේ වැදගත්ම සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය බවයි. එම නිවාස ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 270ක් වන අතර මෙහිදී උතුරු හා නැඟෙනහිර මෙන් ම මධ්‍යම සහ ඌව පළාත්වලද නිවාස 50,000 වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළේය.


    මෙහි පළමු අදියර මීට වසර දෙකකට පෙර නිමාවට පත් වූ අතර එහි දෙවැනි අදියර යටතේ නිවාස 49,000ක් ඉදිකෙරෙන බවද එයින් 15,000ක් මේ වර්ෂය අවසාන වනවිට නිමාවට පත්කිරීමට අපේක්ෂා කරන බවද මහ කොමසාරිස්වරයා පැවසීය.

     

    මීට අමතරව දැනට හම්බන්තොට අත්කම් ගම්මානයක් ඉදි කෙරෙමින් තිබෙන අතර එය මේ වර්ෂය අවසන් වනවිට නිමාවට පත්වන බවද ඒ සමඟ කාර්මික පුරයක් ඉදිකරන බවද පැවසූ ඒ මහතා ඊට අමතරව රටේ සෑම පළාතකම භාෂා විද්‍යාගාර 9ක් විවෘත කරන බවද පෙන්වා දුන්නේය. එහි පළමුවැන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත අතර යාපනයේ ද ඉදිකරන බවද  වයි.කේ. සිංහා මහතා ප්‍රකාශ කළේය.

     

    මෙලෙස විවිධ ව්‍යාපෘති 40ක් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සියල්ල දෙරටේ සහයෝගීතාව පදනම් කරගෙන ක්‍රියාත්මක කරන බවද මේ සහයෝගිතාවයේ දී දෙරටේ එක් එක් අමාත්‍යාංශ හා රාජ්‍ය නොවන සංවිධාන සමීප සබඳතාවකින් කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    වසර ගණනාවක යුද්ධයකින් පසු ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් ඉන්දියාවේ පූර්ණ සහය ලබාදෙන බව පැවසූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අනෙකුත් අංශයන්ට ද හැකි සෑම සහයෝගයක් ලබාදෙන බවද ප්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවේදී ඉන්දියන් මහකොමසාරිස්වරයා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙත එම ග්‍රන්ථය පිළිගන්වන ලදී.


    එම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ශිවඥානසෝති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, ජනාධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

     

    SDF

    India-Sri Lanka 2India-Sri Lanka 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya