මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වන විට මුඛ පිළිකා රෝගය 15%කින් අඩු කිරීමේ ඉලක්කයක්

    අගෝස්තු 12, 2014

    2020 වන විට මුඛ පිළිකා රෝගය 15%කින් අඩු කිරීමටත් මුඛ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවසාන අවස්ථාවේ එන රෝගීන්ගේ සංඛ්‍යාව 30%ක මට්ටමකට ගෙන ඒමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය බව එම අමාත්‍යාංශයේ දුම්කොළ හා මුඛ පිළිකා පාලන ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පවසයි.


    විශේෂඥ වෛද්‍ය අමරසිංහ මහතා මේ බව පැවසුවේ මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ ප‍්‍රථම අන්තර්ජාතික සමුළුව සම්බන්ධයෙන් ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදීය.


    "මුඛ පිළිකාවෙන් තොර සමාජයක් කරා" යන්න තේමා කර ගනිමින් පසුගියදා මහනුවරදී සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව පැවැත්විණි. මේ සඳහා දායකත්වය දරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පර්යේෂණ ඒකකය, ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානයයි.


    මේ සමුළුව සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ලොව සුපතල විද්වතුන් හා ජාත්‍යන්තර සංවිධාන රාශියක එකමුතුවෙන් ක්‍රියාත්මක විණි. සියලු පාර්ශවකරුවන්ගෙන් සමන්විත ව්‍යූහයක් තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, රෝග කළමනාකරණය මත පදනම් වූ සපන දුම්කොළ හා පුවක් පිළිබඳ පාලන ආකෘතියක් ස්ථාපිත කිරීම මේ සමුළුව පැවැත්වීමේ එක් අරමුණකි.


    ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් වාර්ෂිකව 1800 දෙනෙකු පමණ වාර්තා වේ. මුඛ පිළිකා නිසා වාර්ෂිකව මරණ 968ක් පමණ වාර්තා වන අතර දිනකට මරණ 03ක් සිදු වේ. මුඛ පිළිකාව මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව වේ. මේ රෝගයෙන් රෝගීන් 50%ක් පමණ මියයති. නමුත් මේ රෝගය 100%ක්ම වළක්වා ගත හැකි බවත් බුලත්විට සැපීමේදී දුම්කොළ, හුණු හා පුවක් භාවිතයට නොගැනීමෙන් වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    මුඛ පිළිකාව සම්බන්ධ ප්‍රඥප්තියක් පළමු වතාවට හඳුන්වා දෙන්නට පසුගියදා පැවති සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවේදී පියවර ගෙන ඇත. මේ ප්‍රඥප්තියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ පුවක් භාවිතය හා මුඛ පිළිකා ප්‍රවණතාව අඩුකිරීම අරමුණු කර ගත් මූලධර්මාත්මක ප්‍රමුඛතා හඳුනාගැනීම සහ ක්‍රියාමාර්ග සඳහා නිසි මාර්ගයක් සකස් කර ගැනීමයි.

    මේ ප්‍රඥප්තියෙහි සපන දුම්කොළ හා පුවක්වලට එරෙහි උපදේශනය සෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුගේම දින චර්යාවේ කොටසක් විය යුතුය, හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍ය වෘත්තිකයන් මුඛ කුහරයේ දෘශ්‍ය පරීක්ෂණයක් සිදු කළ යුතුය, සෞඛ්‍ය වෘත්තිකයන් අනිවාර්යෙන්ම තම රෝගීන් අතර මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කළ යුතුය සහ සියලු සෞඛ්‍ය ආයතන (සායන, රෝහල්, වෛද්‍ය විද්‍යාල, දන්ත වෛද්‍ය විද්‍යාල, හෙද විද්‍යාල, අතුරු වෛද්‍ය විද්‍යාල) සපන දුම්කොළ හා වාණිජමය වශයෙන් තිබෙන පුවක් නිෂ්පාදනවලින් තොර ප්‍රදේශ වශයෙන් ප්‍රකාශ කළ යුතුය යන්න ඇතුළත් වේ.


    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව සපන දුම්කොළ, පුවක් සහ මුඛ පිළිකා සම්බන්ධව නොකඩවා කර ගෙන යන වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්විය යුතුය, ශ්‍රී ලංකා රජයේ සියලුම උපාධි අපේක්ෂක විෂය නිර්දේශවලට දුම් රහිත දුම්කොළ/ පුවක් භාවිතය නතර කර ගැනීමේ කුසලතා ඇතුළත් වීම, සපන දුම්කොළ හා පුවක් ඇතුළු සියලු වර්ගවලින් සිදු වන සෞඛ්‍ය උවදුර පිළිබඳ ව ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කළ යුතුය, අසල්වැසි රටවලින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන නීති විරෝධී සපන දුම්කොළ හා පුවක් අනුප්‍රේෂිතයන් සම්බන්ධව පරීක්ෂාකාරීව සිටීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කිරීම එම ප්‍රඥප්තියේ ඇතුළත් තවත් කරුණු ගණනාවකි.


    එසේම පුවක් උවදුරු කාරක ද්‍රව්‍යයක් ලෙස නම් කර දුම්කොළ නිෂ්පාදන සඳහා මෙන්ම පුවක් නිෂ්පාදන සඳහා ද පින්තූරමය සෞඛ්‍ය අවවාද ඇතුළත් විය යුතුවීමත් එහි සඳහන් වේ. සම්පූර්ණ පුවක් පාලන ජාතික වැඩසටහනක් ස්ථාපිත කළ යුතු වීම, වරින් වර සපන දුම්කොළ හා පුවක් නිෂ්පාදන සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුය, සපන දුම්කොළ හා අසුරන ලද පුවක් නිෂ්පාදන පිටරටින් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හා විකිණීම තහනම් කළ යුතුවීම හා සපන දුම්කොළ හා පුවක් නිෂ්පාදන සඳහා බදු වැඩ කළ යුතු වීම යනාදී කරුණු මුණ පිළිකා ප්‍රඥප්තියේ ඇතුළත් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya