මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා වෛරස් අවදානම ගැන තීන්දු තීරණ රැසක් Featured

    අගෝස්තු 12, 2014

    අද ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ ප‍්‍රථම අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණෙන පිරිස අතුරින් ඉබෝලා වෛරසය ඇතුළු වීමට හා පැතිරයාමට හැකියි. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගිය සතියේ ගුවන්තොටුපොළ අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් ගමන් ආයතන හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ සෞඛ්‍ය ඒකකයක් එහි ස්ථාපිත කෙරිණි.


    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ඉබෝලා වෛරසය පැතිර ගොස් ඇති ගිනියාව, සියරාලියෝන්, ලයිබීරියාව හා ඇල්ජීරියාව යන රටවලින් පැමිණෙන පිරිස පරීක්ෂාව සඳහා ක්‍රියා කරනු ඇත. යමෙකු රටට ඇතුළු වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඒකකය හරහා පැමිණි විට එම රෝගය නැති බවට තහවුරු කර ගනු ඇත. ඒ පිළිබඳ රටට පැමි‍ණෙන පිරිස ද දැනුවත් කරනු ඇත. එසේම පැය 24 පුරා ගිලන් රථයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ තබා තිබෙන අතර හදිසි උණ රෝගියෙකු පැමිණිය හොත් අංගොඩ උණ රෝහල (අයි.ඩී.එච්) වෙත රැගෙන යාමට කඩිනමින් කටයුතු කරනු ලැබේ. මේ සියලු පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේද සහය ලැබෙන බව ඔහු පැවසීය.


    අංගොඩ උණ රෝහල (අයි.ඩී.එච්) හා ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ද මේ පිළිබඳ දැනුවත් කර ඇත. ගුවන් තොටුපොළට පැමිණීමට පෙර ගුවන් යානයේ මෙවැනි රෝගියෙකු සිටී නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත ඒ පිළිබඳ ගුවන් තොටුපොළට දන්වන ලෙසත් උපදෙස් දී ඇතැයි ඔහු පවසයි.


    ඉබෝලා වෛරසය ප්‍රථමයෙන්ම වාර්තා වී ඇත්තේ 1976 වසරේ බටහිර හා මධ්‍යම අප්‍රිකානු රටවලිනි. සුඩානය හා කොංගෝවෙන් ප්‍රථම වෛරස් රෝගීන් හඳුනාගෙන තිබේ. ඝර්ම කලාපීය වනාන්තරවල වඳුරන්, චිම්පන්සියන් හා ගෝරිල්ලන් වැනි සතුන්ගෙන් මේ රෝගය ආරම්භ වූ බවට විශ්වාසයක් පවතින අතර පසුව මිනිසුන් අතර උණ පැතිර ගොස් ඇත. 2014 මෑතකදී වාර්තා වූ ප්‍රථම මරණය ජූලිවල සිදු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව ඉබෝලා උණ රෝගීන් 1779 දෙනෙකි. ඉන් 961 දෙනෙකු මිය ගොස් තිබේ. දරුණු වෛරසයක් වන මෙය 90%ක මරණ අනුපාතයක් වාර්තා කරන බව වෛද්‍ය මහීපාල මහතා අවධාරණය කළේය.


    එකවර ඇති වන උණ, මස් ගොබ වේදනාව, පාචනය, වමනය, ලේ ගැලීම ආදිය මෙහි රෝග ලක්ෂණ වේ. මේ රෝගය වළක්වා ගැනීමට එන්නතක් හෝ නිසි ප්‍රතිකාරයක් නැත. ඇති වන රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කරයි. බෝවීම අවම කිරීම අවශ්‍ය වන බව ද වෛද්‍ය මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya