මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළ හරහා ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 8.5ක් Featured

    අගෝස්තු 08, 2014
    2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික් හතරේ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් බිලියන 8.5ක් වෙන් කිරීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන බවත් ඒ අතරින් රුපියල් මිලියන 1535ක් මාතර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා  දැයට කිරුළ ප‍්‍රදර්ශනය පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරි කටයුතු හා ප‍්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම සාකච්ඡාව අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී අද (08) පැවැත්විණි.
     
    දැයට කිරුළ වැඩසටහනට අනුබද්ධ දිස්ත‍්‍රික්කවල සෑම වර්ග කිලෝ මීටරයකටම රුපියල් 250,000ක් සහ සෑම පුරවැසියෙකුටම රුපියල් 1500ක් වන පදනම මත මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම සිදුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මාතර කොටවිල හා මාතර මැද්දවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාල භූමිය ආශ‍්‍රිත සරසවි පෙදෙසේ දී පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමි සංවර්ධනය කිරීමේදී ස්ථිර ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 1700ක් සහ මහා මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් ආදී වශයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන්කරන ලද බව ද මේ සියලු මුදල් ප‍්‍රතිපාදන දැයට කිරුළ ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ හා දැයට කිරුළ සංවර්ධන කමිටුවේ සභාපති ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ලබාදෙන ලද බව ද අවධාරණය කෙරිණි.
     
    එහිදී මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කරන ලද අතර ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා සහ අදහස් අනුව ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. 
     
    මේ අවස්ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ පළාත් ප‍්‍රධාන ලේකම්, දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ. 
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය රැස්වීම සංවිධානය කරන ලදි.
     
    DB/TI dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya