මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර යොවුන් දිනය අගෝස්තු 12

    අගෝස්තු 07, 2014
    ජාත්‍යන්තර යොවුන් දිනය සෑම වසරකම අගෝස්තු 12 වන දින සැමරීමට කටයුතු යොදා තිබේ. මෙවර තේමාව ලෙස "තාරුණ්‍යය හා මානසික සෞඛ්‍යය" යනුවෙන් හඳුන්වා දී ඇත. රටෙහි සංවර්ධනය සඳහා දායක විය හැකි බුද්ධිමත් තරුණ පරපුරක් ඇතිකරලීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.


    මේ පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්විණි. 

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා පැවසුවේ තරුණයන් තුළ නිවැරදි තීරණ ගැනීම, ප‍්‍රශ්න විශ්ලේෂණය කිරීම, නිර්මාණාත්මකව සිතීම, ආත්මාවබෝධය, හැඟීම්වලට මුහුණදීම, අන්තර් පුද්ගල සම්බන්ධතා, විවේචනාත්මකව සිතීම හා ආතතියට මුහුණදීම වැනි කරුණු පිළිබඳව තාරුණ්‍යය දැනුවත් කිරීම හා සංවර්ධනය කිරීම අද ජාතික අවශ්‍යතාවක්ව පවතින බවයි.

     
    මානසික රෝගී තත්ත්වයන් ඇතිවීම තරුණ වියෙන් ආරම්භ වන බැවින් ළමයින්ගේ මානසික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයන් වන ආදරය, කරුණාව, ආරක්ෂාව, දැඩි නීතිරීති පැනවීමෙන් වැළකීම, වයසට නිසි තීරණ ගැනීමට උපකාරීවීම හා සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම තුළින් නිරෝගී මනසින් යුත් යහපත් පුරවැසියෙක් ඇති කරලීමට හැකියාව ලැබෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ සුළු මානසික රෝගී තත්ත්වයන් ලක්ෂ 20කට පමණ පවතින බවත් මානසික රෝගී තත්ත්වයන් ඇතිවීම සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ඇතිවීමට ඉඩ ඇති බවත් මෙහිදි ඔහු අවධාරණය කළේය.

     

    මෙවැනි රෝගීන් දෙස සමාජය වපර ඇසින් බැලීම හේතුවෙන් ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමුවීමට මැලිකමක් දක්වනු ලබයි. සාමාන්‍ය රෝගී තත්ත්වයන්ට මෙන්ම මෙම රෝගී තත්ත්වයට ද ප‍්‍රතිකාර පවතින බැවින් ඔබ ප‍්‍රදේශයේ පවතින මානසික සෞඛ්‍ය සායනයට ගොස් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය දන්වා සිටියි. මෙවැනි මානසික රෝගී තත්ත්වයන් සඳහා අඛණ්ඩ ඖෂධ ප‍්‍රතිකාර, උපදේශන හා විද්‍යුත් කම්පන ප‍්‍රතිකාර මඟින් රෝගය පාලනය කිරීමට මෙන්ම සම්පූර්ණයෙන් සුව කිරීමට ද හැකියාව පවතිනු ඇත. 

     

    සියලුම මානසික රෝගවලට ප‍්‍රධානම හේතුව වනුයේ මොළයේ සිදුවන යම් කිසි රසායනික අසමතුලිතතාවයකි. දරුවෙකු හැදෙන පරිසරයේ ස්වභාවය, පවුලේ අසමඟිය, ශාරීරික හා මානසික ලිංගික අතවරවලට ගොදුරුවීම, අනවශ්‍ය සැකය, බිය හා ආවේගශීලි බව යන හේතූන් ද මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමට බලපානු ඇත. 

     

    මෙම තත්ත්වයන් අවම කරලීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය හා රජරට විශ්වවිද්‍යාලය එක් ව ගම් මට්ටමින් සතුටු පවුල් ක‍්‍රියාත්මක කිරීම, පවුල් ප‍්‍රතිපත්තියක් සකස් කිරීම හා ළමා හා කාන්තා සංවර්ධන අමාත්‍යාංශය යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සමාජ සත්කාරක මධ්‍යස්ථාන ඇති කිරීමටත් ඒ හරහා පවුල කේන්ද්‍ර කරගත් ගැටලු අවම කර ගැනීමට කටයුතු කෙරේ. 

     

    මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ‍්‍රී ලංකා නියෝජිත ඇලන් සී.බී. නේලර්, කළුතර මහ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ සමන් වීරවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නීලමනී හේවාගීගන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.     

     

    NDH/SK_cmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya