අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ නොමැකෙන දැවැන්ත සේවයක් ශ‍්‍රීලනිපය රටට කර තිබෙනවා

    අගෝස්තු 06, 2014
    ඉතිහාසයේ නොමැකෙන දැවැන්ත සේවයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් සිදු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා වැලිගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ රැස්වීමට සහභාගී වෙමින් පැවසීය.


    මෙහිදී අමාත්‍යතුමා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ පටන් මේ දක්වා ජනතාව වෙනුවෙන් සිදු කළ සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක් කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් දැයේ අනාගත දරුවන්ට සිදු කළ සේවාව පිළිබඳව අභිමානයෙන් සිහිපත් කළ හැකියි. පක්ෂයක් වශයෙන් අප කළේ පාලම්, බෝක්කු තැනවීම වැනි සිල්ලර කාර්යයන් නො වේ. දිගුකාලීන ප‍්‍රතිඵල අත්කර දෙන දැවැන්ත සංවර්ධන කාර්යයන්ය. මීට අවුරුදු 10කට පමණ පෙර අපේ රට තුළ පැවති තත්ත්වය බොහෝ දෙනෙකුට අමතකයි. ඇතැමුන් එය හිතාමතාම අමතක කර දැමීමට උත්සාහ දරයි. රටේ පැවති දුක්ඛිත තත්ත්වය නිමාකරමින් රටට සාමය උදා කිරීමට අතිගරු ජනාධිපතිතුමා ගෙනගිය වැඩපිළිවෙළ හෑල්ලු කිරීමට ඇතැමුන් කටයුතු කරයි. රටේ සාමය ස්ථාපිත කිරීමට අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බව දඅමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අප ජීවත්වූවාට වඩා හොඳ රටක් දරුවන් වෙනුවෙන් උරුම කර දීමට අපට හැකි විය. ජීවත්වීමට පහසු රටක්, ජාතියක් දරුවන් වෙනුවෙන් දායාද කර දීමට හැකි වීම පිළිබඳව ආඩම්බර වීමේ අයිතිය ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පමණයි. ඒ අභිමානය සමඟ රට වෙනුවෙන් යමක් කළාය යන තෘප්තිමත් හැඟීම අප තුළ පවතී. දරුවන් පාසල නිම වී නිරුපද්‍රිතව යළි පැමිණේද යන දෙගිඩියාවෙන් මව්වරුන් මඟ බලා සිටි කාලයක් අප පසුකර ඇත. අතරමග මිය යන්නට සිදුවෙතැයි බිරිඳ සහ සැමියා එකමඟ ගමන් නොකර වෙන වෙනම ගමන් කළේ දරුවන්ට මව සහ පියා යන දෙදෙනාම අහිමි වෙතැයි සැකයෙනි. එවන් අභාග්‍ය කාලයක් පසු කළ අප අද ජීවත් වන්නේ වඩා සුරක්ෂිත රටක් තුළයි. රටේ සුරක්ෂිතභාවය ඉදිරියටත් රැකගැනීමේ වගකීම අප සතුය. එම වගකීම පිළිබඳ නිරතුරුව සිහිතබා ගැනීම ඉතා වැදගත්ය. යුද සමයේ දී දරුවන් අහිමිවුණු අම්මාවරුන්, සොයුරන් අහිමි වුණු සොයුරියන්, ස්වාමියා අහිමිවුණු  බිරින්දෑවරුන් අප අතර සිටී. අද වන විට ඒ සියල්ල අමිහිරි අතීතයට එක් වී හමාරයි. වේදනාත්මක අතීතයෙන් මිදී සුවදායී වර්තමානයක ජීවත්වීමට අවස්ථාව උදා කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ය.

    ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය, එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ පැවති තර්ජන ගර්ජන හේතුවෙන් බොහෝදෙනා පීඩාවට පත්වූහ. කාන්තාවන් අසීරුතාවට පත්විය. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය, එක්සත් ජාතික පක්ෂයේ භීෂණය සහ යුදමය භීෂණය යන තුන්බිය හමුවේ වඩාත්ම පීඩාවට පත් වූයේ කාන්තාවන්ය. ඔවුන් සියලු වේදනාවන් ඉවසා දරා ගත්තේ සිය දරු පවුල ආරක්ෂා කර ගැනීම සඳහාය. කාන්තාවන් වේදනාවට පත් කළ තුන්බිය දුරු කළේ අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයයි. බියෙන් සැකෙන් තොර නිවහල් දේශයක ජීවත්වීමේ භාග්‍යය හිමි වූයේ අතිගරු ජනාධිපතිතුමා දරන ලද වෑයමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

    පවුල් සංස්ථාවේ පදනම වන්නේ කාන්තාවයි. ස්වාමියාගේ සහ දරුවන්ගේ කුදු මහත් කටයුතු පිළිබඳව සොයා බලමින් සියල්ල ඉටු කරදෙමින් පවුල් ඒකකය කළමනාකරණය කරන්නේ කාන්තාවයි.දරුවන්ට යා යුතු නිසි මග කියාදෙමින් දැයට යහපත් දරු පරපුරක් දායාද කරන්නේ මව්වරුන්ය. රටක් දියුණුවන්නේ කාන්තාවන් පවුල වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය නිසි ලෙස ඉටු වුවහොත් පමණි. එබැවින් රට වෙනුවෙන් කාන්තාව ලබා දෙන දායකත්වය සුළු කොට තැකිය නොහැක. 

    2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මැතිඳුන් බලයට පත්කිරීමෙන් ජනතාව අපේක්ෂා කළේ නිදහසේ ජීවත්වීමට සුදුසු රටක් බිහිකිරීමයි. සැක බිය නැතිව රට තුළ නිදහසේ ඇවිද යාමට සුදුසු පරිසරය ගොඩනැගීමට දායකවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අභිමානයෙන් සිහිපත් කළ හැකි කරුණකි. දිනූ නිදහස විනාශ කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. ජනාධිපතිතුමාට නැවත ලබා දීමට නොහැකි වූයේ යුද්ධයෙන් අහිමි වූ ජීවිත පමණි. රැකදුන් නිදහස සහ බේරාදුන් ජීවිතවලට අතිගරු ජනාධිපතිතුමාට සැවොම ණයගැති විය යුතුයි. දිනූ රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ වී ඇත. සංවර්ධන ක‍්‍රියාදාමය හමුවේ ගම්බද කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ කාර්යය රජය විසින් ආරම්භ කර තිබේ. ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැඩසටහනින් උපරිම ඵල නෙළාගැනීම කාන්තා ඔබ සතු වගකීමකි. පවුලට නායකත්වය ලබා දෙන්නේ කාන්තාවයි. පවුලේ ආදායම ඉහළ නංවමින් රටේ ආදායම ඉහළ නැංවීමට කාන්තාවන් දායකත්වය ලබාදෙයි. 

    අතිගරු ජනාධිපතිතුමා බලයේ සිටිනතාක් කල් රටේ සංවර්ධනය පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නඟින්නේ නැත. ඉතිහාසයේ පෙර නොවූ විරූ ශීඝ‍්‍ර සංවර්ධනයක් ඇති කිරීමට පෙරමුණ ගන්නේ රටේ වර්තමාන නායකත්වයයි. එම අභීත නායකත්වය සමඟ ජනතාව එක්වන්නේ දැඩි විශ්වාසයකිනි. කිසිදා නොබිදෙන එම විශ්වාසය සමඟ ජනතාව අත්වැල් බැඳගෙන සිටිනතාක් කල් රට විනාශ කිරීමට කිසිවකුට ඉඩක් ලැබෙන්නේ නැත. එදා මිනිසුන් ඉල්ලා සිටියේ පාලමක්, බෝක්කුවක් තනා දෙන ලෙස හෝ පාරට ගල් අතුරා දෙන ලෙසයි. නමුත් අද මිනිසුන් ඉල්ලා සිටින්නේ පාර කාපට් කර දෙන ලෙසයි. රටේ සංවර්ධන ස්වරූපය එදා මෙදා තුර විශාල වෙනසකට බඳුන් වී ඇත. ජනතාවගේ සිතුම්පැතුම් ද වෙනස් වී ඇත. එදා ජනතාව බලාපොරොත්තු වූයේ ජීවිතයට හානියක් නොවී ජීවිතය රැකගැනීමයි. අද ජනතාවගේ අපේක්ෂාව සියලු පහසුකම් සහිත ජීවිතයක් ගත කිරීමයි. නොනවතින සංවර්ධනයත් සමඟ රට ඉදිරියට ගෙනයාමට අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය හා ධෛර්යය ලබාදීමට ජනතාව පෙළ ගැසී සිටින බව මෙහිදී මහින්ද යාපා අබේවර්ධනමහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ශ‍්‍රී.ල.නි.ප. කාන්තා සංවිධානයේ සභාපතිනී නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක බණ්ඩාර මහතා, නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya