අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්වල අසමඟියට වෘත්තීය සමිතිවල ඇතැම් නායකයන් වගකිව යුතුයි Featured

    අගෝස්තු 06, 2014
    රෝහල්වල කටයුතු කරන විට ඔබ තුළ තිබෙන සාමුහිකත්වය, සහෝදරත්වයේ බැඳීම, එකමුතුව නැති කරනවාට ඇතැම් වෘත්තීය සමිතිවල ඇතැම් නායකයන් වගකිව යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන ලිඛිත හා ප‍්‍රායෝගික විභාගයෙන් සමත් ව, මාස 03ක පුහුණුවක් ලැබූ උපස්ථායක, උපස්ථායිකාවන් 854ක් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය සඳුදා බත්තරමුල්ල  "අපේ ගම" සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි. 

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. "අපේ සෞඛ්‍ය සේවාව පිළිබඳ කථා කරන විට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඔබේ, අපේ වගකීම තිබෙන්නේ වෛද්‍ය ක‍්‍රමයත් එක්කයි. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ නව තාක්ෂණය දවසින් දවස ලබන දැනුමත් එක්ක සේවාවේ ඇති වන තාක්ෂණික ගුණාත්මකභාවය, තාක්ෂණික ප‍්‍රමිතිය එන්න එන්න ඉහළ යයි. 

    මේ සේවාවන්වල තිබිය යුතු  අධ්‍යාත්මිකභාවය, මානුෂීයභාවය, ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, මිනිස්කම, සුරක්ෂිතභාවය මේ ගුණාත්මකභාවයෙන්, ප‍්‍රමිතියෙන් ඉහළ ගිහිල්ල ද පහළ ගිහිල්ල ද මඟ හිටල ද තියෙන්නේ කියන කාරණාව අපේ හෘද සාක්ෂියට එකඟව අප විසින් තීරණය කළ යුතු වේ.

    තාක්ෂණය දියුණු වෙන්න වෙන්න, යන්ත‍්‍රසුත‍්‍ර වැඩිවෙන්න වැඩිවෙන්න, මිනිසුන්ගේ මිනිස්කම් නැතිව යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අපේ සේවාවන්වල විතරක් නො වේ මුළුමහත් ලෝකය ගත්තාම තාක්ෂණයේ දියුණුවත් සමඟ නව යන්ත‍්‍ර සුත‍්‍ර, පර්යේෂණත් එක්ක අලුත් තත්ත්වයක් ඇති වුණාම ඒ තුළ නව ලෝකයක් දකිනවා. නව ප්‍රවේශයක් දකිනවා. හැබැයි මිනිස්කම, මනුෂ්‍යත්වය කියන එක මිනිසුන් කෙරෙහි තිබෙන දයාව, අනුකම්පාව ඒවා බොහෝ වෙලාවට එන්න එන්න අඩු වෙනවා.  පසුගිය දවස්වල වූ දේවල් මට වැඩිය ඔබ දන්නවානේ. අප ඉන්නේ අමාත්‍යාංශයේ. අමාත්‍යාංශයට රෝහලේ, වාට්ටු ඇතුළේ, රෝහල්වල කාමර ඇතුළේ වෙන දේ පිළිබඳ තොරතුරු ලැබෙනවා.  

    සූතිකාගාරවල රණ්ඩු වෙන කොට ඒකෙන් අප‍්‍රසාදයට පත් වුණේ කවුද? උගත්, බුද්ධිමත් නැණවත් දොස්තර මහත්වරුන් ගහගත්තා. රටේ මහජනයා මොකද කීවේ. අපට බැන්නද? නැහැ, සූතිකාගාරයේ රණ්ඩු වෙනකොට, වාට්ටුවල දොස්තර මහත්වරුන් ගහගන්න කොට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, උපස්ථාන ශ්‍රේණි තැන් තැන්වල එක් එක් දේවල් කරන විට රටේ මහජනයා මොකද කීවේ. අප හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනි අප දරන තනතුරුත් එක්ක ඒ තනතුරට තිබෙන වගකීම් හා යුතුකම් එක්ක අපේ පැවතුම් හැදියාවන් ඒ සියල්ල තුළ අප කොයි ආකාරයට ද කටයුතු කරන්න ඕනේ කියලා. රෝහල්වල කටයුතු කරන විට ඔබ තුළ තිබෙන සහෝදරත්වය, සාමූහිකත්වය තව තවත් වර්ධනය කර ගැනිමඅවශ්‍යයි. මේ සාමූහිකත්වය, සහෝදරත්වයේ බැඳීම, එකමුතුව බොහෝ වෙලාවට නැති කරනවාට ඇතැම් වෘත්තීය සමිතිවල ඇතැම් නායකයන් වගකියන්න ඕනෑ. 

    රෝහලට ගියාම බොහොම ලස්සනට වැඩ කරනවා. හැබැයි මේ වෘත්තීය සමිතිවල සිටින ඇතැම් නායකයන් හොඳින් වැඩකරගෙන ඉන්න අය අසමඟි කරන්නේ පොදු බව නැති කරන්නේ ඔවුන් විසිනුයි. සාමාජිකයන් හැමවෙලේම වෘත්තීය අයිතිවාසිකම්වල දී සටන් කරන බව ඇත්ත. අප තුළ ආයතනික වශයෙන් තිබිය යුතු, රෝහල තුළ රෝගීන් පිළිබඳව ඒ තිබෙන බැඳීම, සහෝදරත්වය, මිත‍්‍රත්වය, සෙනෙහෙබර බව වෛද්‍යවරුන් ප‍්‍රමුඛව ඒක කිසි තැනක නැතිකරන විදිහට කටයුතු කිරිම සුදුසු නැහැ. ඒ තුළ බෞද්ධයෙක් විදිහට මා දකින්නේ මහා පාප කර්මයක් ලෙස" යැයි අමාත්‍යවරයා වැඩිරටත් පැවැසීය.  

    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානයක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.එස්. කීරගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.  

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya