අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අද කිසිදු ගැටලුවක් නෑ- ජනපති Featured

    ජූලි 06, 2019

    අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය මේ වන විට ශ‍්‍රී ලංකාවේ විනාශ කර තිබෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිබෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ (05) පස්වරුවේ එක්වෙමිනි.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්කයේ පිරිවෙන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනට අනුව රුපියල් ලක්ෂ 133ක මුදලක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ භික්ෂු නේවාසිකාගාරය ඉදිකර තිබේ.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර හතර හමාර තුළ කිසිදු යුගයක නොවු අයුරින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, නිදහසත් ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවයි.

    රජය ගෙන ගිය වැඩසටහන් සමග සියලු ජනතාව අවබෝධයෙන් ජීවත්වන සාමකාමී තත්ත්වයක් රට තුළ ගොඩනැගී තිබූ අතර, අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග බලාපොරොත්තු නොවූ තත්ත්වයක් රටේ නිර්මාණය වුව ද මේ වන විට නැවත රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එම තත්ත්වය තුළ අද සියලුදෙනාට පැවරී ඇති වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සමරු ඵලකය නිරාවරණය කර දෙමහල් භික්ෂු නේවාසිකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. විහාරාධිපති පූජ්‍ය මෙඬේරපිටියේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    දිස්ති‍්‍රක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශ‍්‍රී විජයබා පරිවෙනාධ්‍යක්ෂක පූජ්‍ය උඩගම ධම්මානන්ද, උප සභාපති ශ‍්‍රී බෝධිරාජාමාධිපති පූජ්‍ය ලිඳකුඹුරේ සෝබිත ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද උතුරු මැද පළාත් ආණඩුකාර සරත් ඒකනායක, මැදිරිගිරිය ශ‍්‍රීලනිප සංවිධායක සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya