අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍යයි- ජනපති

    අප්‍රේල් 06, 2019

    අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට  (05) පෙරවරුවේ එක් වෙමිනි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    ජනාධිපතිතුමා අතින් නව දෙමහල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබුණු අතර, ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාසල් සිසුවියක විසින් ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කළාය.

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතාවයන් අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.

    05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත්‍රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.

    විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.
    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya