අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සීගිරිය බිතු සිතුවම් අතරින් අඟුරු කැබැල්ලක් මතු වේ"

    ජූලි 28, 2014

    මේ වන විට ශේෂව පවතින සිතුවම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව සීගිරිය පුරාවිද්‍යා භූමියේ දැරණියගල ගුහාවේ සිතුවම් සංරක්ෂණ කටයුතු සිදු කරමින් සිටී.

    ඒ අතරතුරදී ගුහාවේ බදාම පෘෂ්ඨයේ තිබී අඟුරු කැබැල්ලක් සහිත බදාම ස්ථරයක් හමු විය. එහි පර්යේෂණයන්හි නියුතු පුරාවිද්‍යා පර්යේෂණ සහකාර ටී.කේ. විජේසිංහ මහතා විසින් මෙම අඟුරු කැබැල්ල සහිත බදාම ස්ථරය හඳුනා ගෙන තිබේ.

     

    මේවායෙහි කාබන් 14 කාල නිර්ණයට ඇති හැකියාව පිළිබඳව සලකා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ. මේ සඳහා නියැදි ලබා ගැනීමට ආචාර්ය නිමල් පෙරේරා මහතා අදාළ ස්ථානයට යැවීමට කටයුතු කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    කාබන් 14 කාලනිර්ණය පදනම් කර ගෙන මෙම සිතුවම්වලට කාලනිර්ණයක් සපයා දීමට හැකි වුවහොත් එය සීගිරිය පිළිබඳව මෙතෙක් නොවිසඳී ඇති ඉමහත් ගැටලුවක් වන සීගිරිය පශ්චාත් කාශ්‍යප බිතු සිතුවම්වල කාලනිර්ණය පිළිබඳව ගැටලුව නිරාකරණය කර ගැනීමට පිටුවහලක් වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සීගිරි පර්වතයේ තිබෙන ප්‍රධාන සිතුවම් 23ක්ද පර්වත පාමුල ප්‍රදේශයේ තවත් චිත්‍ර 50කට ආසන්න සංඛ්‍යාවක්ද දක්නට ලැබෙන අතර, ඒ අතරින්ද දැරණියගල ගුහාවේ බිතු සිතුවම් ප්‍රධාන වේ. දැරණියගල ගුහාවේ කාන්තා සහ වෙනත් සිතුවම් 22ක් පමණ ශේෂව ඇති අතර මේවාත් සීගිරියේ ප්‍රධාන සිතුවමුත් අතර බෝහෝ සමානතා දක්නට ලැබේ. එසේ වුවද කලාත්මක බවින් මෙම සිතුවම් ප්‍රධාන සිතුවම් පමණට උසස් නොවේ.

    සීගිරිය ප්‍රධාන සිතුවම් 5වන සියවසට අයත් බවත්, දැරණියගල ගුහාවේ සිතුවම් සීගිරිය කාශ්‍යප රජ සමයට පසු කාලයට අයත් බවත්, ඇතැම් විද්වතුන්ගේ මතයයි. මෙතෙක් මෙම සිතුවම් කාලනිර්ණය කළේ සිතුවම්වල ශෛලිය සහ වංශකතානුගත තොරතුරු මත පදනම්ව වන අතර, මේවාට කාබන් 14 වැනි විද්‍යාත්මක කාලනිර්ණයන් ලබා දීමට අවකාශ නොවීය.

    ECB

    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya