නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත තාක්ෂණ ලෝකය ජයගත හැකි දරු පිරිසක් බිහිකිරීමට කැපවෙනවා- අධ්‍යාපන ඇමැති

    මාර්තු 01, 2018

    උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය තාවකාලිකව නතර කළ ද එය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රටේ දේශපාලන අධිකාරියට එම කාර්යය තාවකාලිකව හෝ නවතා දැමීමට සිදුවූයේ, ඒ පිළිබඳව විවිධ පාර්ශව විසින් පටු දේශපාලනික අරමුණු මත පදනම්ව විවේචන එල්ල කළ නිසා බවයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති, අධ්‍යාපන පරිපාලන සේවයේ (iii) වන ශ්‍රේණියට, සීමිත තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් 104 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ, සීඝ්‍රයෙන් වෙනස් වන අධ්‍යාපන ක්‍රමවේද වලට අනුව මෙරට අධ්‍යාපනය ද දියුණු කොට, රටේ අනාගත පරපුර අනාගත අභියෝග සඳහා සූදානම් නොකරන්නේ නම්, ඔවුන් ඒ පිළිබඳව නියත වශයෙන්ම වත්මන් අධ්‍යාපන බලධාරීන් වෙත අනාගතයේ දී දොස් පවරනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දි විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, තවත් වසර කිහිපයකින් මෙරට තුළ නිර්මාණය වන්නේ නවතම රැකියා ධාරාවක් බැවින් එම රැකියා ධාරාවලට අනුකූලව රටේ වත්මන් අධ්‍යාපන ක්‍රමවේදය ද වෙනස් විය යුතු බවයි. ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය සිසුන් වෙත අනිවාර්යය කිරීමට සහ එම විෂය සිසුන් වෙත තවදුරටත් සමීප කරවීම සඳහා නව තාක්ෂණික උපකරණ සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයට බද්ධ කරවීමේ සැලසුම් ද සකස් වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් ගෙන යන ඇතැම් දේශපාලනික ප්‍රචාර වලට ඕනෑම යහපත් දෙයක්, අයහපත් දෙයක් බවට පත්කිරීමට පවා වර්තමානයේ දී හැකි වී ඇති බවයි. ඇතැම් පිරිස්, උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය ද අවියක් කොටගෙන සමාජ ජාලා ඔස්සේ අසත්‍යය ප්‍රචාර ගෙනයමින් සිය පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඊට දැඩි ලෙස පහර එල්ල කළ බවත් වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya