අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසමගිය තුරන් කර සාමය රජයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා යුහුසුළුව එක්විය යුතු බව ජනපති පවසයි

    අගෝස්තු 13, 2017

    රටේ ආර්ථික, සමාජ හා ජනවාර්ගික සියලු ගැටලු සදහා විසඳුම් තිබෙන්නේ බෙදීමකින් සහ සැකයකින් තොරව විශ්වාසයෙන් යුතුව සියලුදෙනාට සමාජය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තුළ බව ජනාධිපතිතුමා පවසයි.

    සෑමතැනම ඇති අසමගිය නැති කරමින් සියලුදෙනා අවබෝධයෙන් සහ විශ්වාසයෙන් කටයුතු කරන සමාජයක් මෙම බෞද්ධ රට තුළ ගොඩනැගීමට යුහුසුළුව එක්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේ වෙත දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම පිළිබඳ ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන්  මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයේ පැවති පුණ්‍යෝත්සවය අමතමිනි.

    සමස්ථ බෞද්ධ සමාජයේ චිරස්ථිතිය උදෙසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පුළුල් මෙහෙවරක නිරතව සිටින පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සමාජයීය මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා උන්වහන්සේ තම වගකීම් නිසි ලෙස ඉටුකරන ආදර්ශමත් සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් බව ද ප‍්‍රකාශ කළේය.

    විශේෂ ධර්ම ප‍්‍රචාරක කටයුතුවල යෙදෙමින් බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් සහ හරවත් හා නැණවත් සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ දරණ කැපවීම ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය.

    උතුම් භික්ෂු සමාජයේ ගෞරවය සහ පිළිගැනීම රැක ගනිමින් තරුණ භික්ෂුන්වහන්සේලා කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා චරිතවත් මෙන්ම ගෞරවණීය භික්ෂු පරපුරක් අද බෞද්ධ සමාජයේ අපේක්ෂාව බවත්, විරෝධතා සහ පෙළපාලිවලදී ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේලා කටයුතුකරන ආකාරය මාධ්‍ය මගින් ලොව පුරා ප‍්‍රචාරය වන විට ඉන් භික්ෂු සමාජය පිළිබඳ ඇතිවන වැරදි ආකල්පය බැහැර කළ නොහැකි බවත් ප‍්‍රකාශ කළේය.

    දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, වෙහෙරහේන සිරි රේවත මහා පිරිවෙණේ කෘත්‍යාධිකාරී දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති ස්වාමින් වහන්සේ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    උන්වහන්සේ විසින් රචිත ධර්ම ග‍්‍රන්ථ කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
    පසුගියදා මාතර දිස්ති‍්‍රක්කයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවූ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමක් ද මෙහිදි සිදු කෙරුණු අතර, සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය අලව්වේ ගුණරතන හිමි විසින් එම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන ලද රුපියල් කෝටියක් වටිනා ද්‍රව්‍යමය ආධාර බෙදාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ විසින් පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූ අතර දෙවුන්දර රජමහා විහාරාධිපති ශී‍්‍ර කල්‍යාණවංශ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය මිදිගම සෝරත නායක ස්වාමින් වහන්සේ, මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය කෑගල්ලේ රතනසාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, පූර්වාරාම රජමහා විහාරස්ථාන දායක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ ප‍්‍රදේශවාසී ජනතාව මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya