අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩ්‍රෝන කැමරා සඳහා ප්‍රමිති හා රෙගුලාසි තිබිය යුතුයි- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති

    ජූලි 20, 2017

    ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් කරන වීඩියෝ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රමිති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඩ්‍රෝන කැමරා ක්‍රියාත්මක කිරීම පිළිබඳව නීතී පද්ධතියක් සැකසීමට හා අදහස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පසුගියදා හුණුපිටිය සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති වැඩමුළුවකදීය.

    දැනට අක්‍රමවත් ලෙස මෙම ඩ්‍රෝන යානා ක්‍රියාකාරකම් සිදු කෙරෙන අතර ඉදිරියේදී මෙම ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචිය සහ අවසරයට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අදාළ ප්‍රදේශයේ සංස්කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග හා බලශක්ති අධිකාරි ආයතනවලද අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ අවසරයද ලබා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    විනෝදාංශයක් වශයෙන් හෝ අධ්‍යාපනික අරමුණු සඳහා 200g කට අඩු බරකින් යුත් කැමරාවක් හෝ වෙනයම් රූගත කිරීමේ උපකරණයක් සවි කර නොමැති ඩ්‍රෝන යානයක්, තම ගෙවත්තේ අඩි 150 කට අඩු ගුවන් පරාසයක් තුළ ගුවන් ගත කිරීම සඳහා අවසරයක් හෝ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කරයි. එම බරට වඩා වැඩි පටිගත කිරීමේ යන්ත්‍ර සවි කළ සෑම ඩ්‍රෝන යානාවක්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතුව ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන්නන්ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවද මෙහිදී ප්‍රකාශ විය.

    තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ: මෙම නීති හා රෙගුලාසි, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පනතක් ලෙස සම්මත කොට නිතීය ක්‍රියාත්මක කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියට බලය පැවරීමට බලාපොරොත්තු වන බවයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩ්‍රෝන යානා යැවීම පිළිබඳව නිතී රෙගුලාසි සැකසීමත්, ඒවා ක්‍රියා කරවන්නන් දැනුවත් කිරීමත් ඉතාමත්ම වැදගත් වන බවයි. එමෙන්ම මෙම ඩ්‍රෝන යානා නිසා ගුවන් යානාද විශාල අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩද තිබෙන බවත් එමෙන්ම නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා යැවීම ජාතික ආරක්ෂවටද තර්ජනයක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    නව තාක්ෂණය දියුණු වීම තුළින් ඩ්‍රෝන කැමරා භාවිතය ඉදිරියේදී තවදුරටත් පුළුල් විය හැකි බවද ඒ තුළින් රටේ ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී එම හානි සිදු වු ස්ථානවලට ළඟා විය නොහැකි අවස්ථාවලදී ද ඩ්‍රෝන කැමරා තුළින් අවශ්‍ය දර්ශන ලබාගෙන ඒ හා අදාළ විස්තරද ලබාගෙන අවශ්‍ය කටයුතු සිදු කිරීමට හා අධ්‍යයනයක් ලබාගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා  පැවසීය.


    එහෙත් ඇතැම් පිරිස් මෙම ඩ්‍රෝන කැමරා අවභාවිතය කරමින් අනවශ්‍ය ආකාරයට වීඩියෝ දර්ශන ලබාගැනීම සිදු කරන බවත් එමෙන්ම පෞද්ගලික දේපළ හා නිවාස ආසන්නයේ වීඩියෝ දර්ශන ලබා ගැනීම පිළිබඳ පැමිණිලි බොහෝ සංඛ්‍යාවක් ලැබී ඇති බවත් මින් ඉදිරියට ඩ්‍රෝන කැමරා ක්‍රියකරවන්නන් එවැනි අනවසර විඩීයෝ පටිගත කිරීම්වලින් වැළකිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.

    ඉදිරියේදී ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවන්නන් දැනුවත් කිරීම හා නව නීති රීති හඳුන්වා දීම පිළිබඳව තවත් වැඩමුළු කිහිපයක් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. එම නිසා ඉදිරියේදී ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන්නන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියමයන්ට අනුව එම කටයුතු කළ යුතු බවද පැවසීය.          

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya