මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් පාසල් සිසුන්

    ජූලි 20, 2017

    ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට තිහක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ  සම්පූර්ණ වගකීම විදුහල්පතිරුන් වෙත පැවරිමට ඊයේ (19) ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවේදී යෝජනා වී තීබේ.

    මෙම මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා මේ පිළිබඳව දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කිරීමටත් යෝජනා වී ඇත.

    ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්ක කෙරෙහි වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇතිවීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ඩෙංගු මර්දනය සඳහා වහාම පියවර නොගන්නේ නම් තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

    එමෙන්ම මේ වනවිට ත‍්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති ඩෙංගු මර්දන ව්‍යාපෘති සඳහා රාජ්‍ය නිළධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම ද අවධානයට ලක් වූ අතර දැනට සිදුකරන ඩෙංගු මර්දන ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද සාකචඡාවට බඳුන් විය.

    තව ද ඩෙංගු අවදානම් ස්ථාන පිළිබඳ ද අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට මහජනතාවට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සහ ඩෙංගු මර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකතන ජාල ඇතුළු තොරතුරු සන්නිවේදන ආයතන මගින් ලබා ගත හැකි සහයෝගය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, චතුරිකා සිරිසේන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද දිස්ත‍්‍රික් ලේකම්වරු, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහ සෞඛ්‍යය ක්ෂේත‍්‍රය නියෝජනය කරන ආයතන ප‍්‍රධානීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya