අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව පසුගිය දා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
නව කැලණි පාලම හා අතුරුගිරිය යාකරමින් ඉදි කෙරෙන නව මාර්ගයේ සහ කැලණි පාලමේ සිට වරාය දක්වා දිවෙන නව මාර්ගයේ ද කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇත. කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන දොරටු 7ක් හඳුනාගෙන එම ස්ථානවල සිට සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කිරීම එහි ප්‍රමුඛ කාර්ය බවට පත්වේ.
එම සැහැල්ලු දුම්රිය සේවය බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය කරයි.
කොළඹ නගරයට ඇතුළු වන බස් රථ ප්‍රමාණය අවම කිරීම සඳහා දැනට පවතින දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාක්මක කෙරේ. ඒ අනුව කැලණිවැලි මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම. පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඇති කිරීම ඒ අතර වෙයි.
මීට අමතරව කොළඹ නගරය තුළ බස් රථ ධාවනය විධිමත් කිරීමේ සැලසුමක් ද අයවැය මගින් ඉදිරිපත් කර ඇත. කොළඹ මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව බස් රථ සඳහා වෙන ම මං තීරු හඳුන්වා දීම එම පියවරයි.
1980 දී පැයට කිලෝමීටර් 40 – 60ත් අතර තිබූ කොළඹ නගරයේ රථ වාහන ධාවනය වන සාමාන්‍ය වේගය අද වන වට පැයට කිලෝ මීටර් 8 දක්වා පහත බැස තිබේ. අනුමාන කර ඇති ආකාරයට 2020 වන විට මෙම වේගය පැයට කිලෝමීටර් 6 දක්වා පහළ බසිනු ඇත. මීට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ දිනෙන් දින මහා මාර්ගවලට අවතීර්ණ වන රථ වාහන ප්‍රමාණයයි. 2008 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත රථ වාහන සංඛ්‍යාව 3,390,993ක් වූ අතර 2015 වසර වන විට එම සංඛ්‍යාව 6,302,141 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ඒ සහ බී වර්ගයේ මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව 12,173කි. කොළඹ නගරය ගැන සැලකීමේ දී දෛනිකව ඊට ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරක් පමණ වේ. එය ද වාර්ෂිකව 25,000 බැගින් ඉහළ යයි.