මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් Featured

    දෙසැම්බර් 10, 2016

    අල්ලස, දූෂණය සහ අක‍්‍රමිකතාවය වැළැක්වීමේදී සහ නිවාරණයේදී වඩා වැදගත් වන්නේ වැරදි කිරීමේදී දෙන දඬුවමට වඩා එම වැරැද්ද සිදු කිරීමට ඇති ඉඩ කඩ ඇහිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අන්තර්ජාතික දූෂණ විරෝධී දිනයට සමගාමීව ඊයේ  (09) කොළඹ දී පැවැත්වුණු දූෂණ විරෝධී ජාතික සමුළුව අමතමිනි.

     

    සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල මාස 03 කට වරක්වත් ඇමතිවරයාගේ හෝ ආයතන ප‍්‍රධානියාගේ නායකත්වයෙන් රැස්ව තම ආයතනය තුළ අල්ලස, දූෂණය සහ අක‍්‍රමිකතාවය වැළැක්වීමට ගත යුතු පියවර සහ අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    සංවිධානාත්මක අල්ලස හා දූෂණය තවමත් ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන තුළ සිදු කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට එරෙහිව කටයුතු කිරීම සියලු ආයතන ප‍්‍රධානීන්ගේ වගකීම බවත් රාජ්‍ය ආදායම් දූෂණයෙන් අක‍්‍රමිකතාවයෙන් තොරව මහා භාණ්ඩාගාරය වෙත ලබාදීම රජයට ආදායම් උපයා දෙන සියලු ආයතනවල ප‍්‍රධානීන්ගේ වගකීමක් බවත් කියා සිටියේය.

     

    ඇතැම් රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ඇතැම් දේශපාලනඥයින් ද FCID යාමට සිදුවනු ඇතැයි බියෙන් ඇතැම් ලිපි ගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බව පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනවා නම් එසේ බියවීමට අවශ්‍ය නොවන බවත් යහපාලන රාජ්‍ය සංකල්පය මත කි‍්‍රයාත්මක වන මෙම අවස්ථාවේ එම නුසුදුසු සටන් පාඨවලින් ඉවත්වන ලෙස තමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළේය.

     

    එක් පිරිසක් ඉලක්ක කර ගනිමින් පමණක් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමේ වැරදි සහගත ස්වභාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන සෑම ආයතනයකින්ම අපේක්ෂා කරන්නේ අපක්ෂපාතිත්වය සහ සාමානාත්මතාවය බව ද කියා සිටියේය.

     

    අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීම ද වැරැද්දක් වන අතර වඩාත් නිවැරැදි ගමනක් සඳහා දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාවට ද පණිවිඩයක් ලබාදීම මෙම සමුළුවේ අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීම පිණිස දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව දේශපාලනඥයන්, රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරින් හා අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ‘සුපිළිපන් පාලනයක්’ තේමාව යටතේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

     

    මෙහි ප‍්‍රධාන සැසිය ‘මැතිවරණ ප‍්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය’ මැයෙන් පැවැත්වුණු අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් මෙහෙයවන ලද එම සැසියට ජනාධිපතිතුමා ද සහභාගී විය.

     

    1989 වසරේ සිට තමා ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මැතිවරණ 06 ක අත්දැකීම් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මැතිවරණ දූෂණවල වැරදිකරුවන් අපේක්ෂයින් නොව මැතිවරණ ක‍්‍රමය බවයි.

     

    මැතිවරණ දුෂණ වැළැක්වීමට නම් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කර නව මැතිවරණ ක‍්‍රමයකට යා යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    දූෂණ විරෝධී ජාතික සමුළුවට සමගාමීව සංවිධානය කෙරුණු චිත‍්‍ර ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

     

    මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් කි‍්‍රයාකාරින් 800 කට ආසන්න පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya