අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් සහගත තත්ත්වයේ සිටි දරුවන් සුරක්ෂිත කෙරේ Featured

    ජූනි 18, 2014

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දීපව්‍යාප්තව සිදු කළ හිංසනයකට හෝ අපයෝජනයකට  ලක්වීමේ අවදානම් සහගත තත්ත්වයේ පසුවන දරුවන් පිළිබඳ සමීක්ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් දරුවන් සඳහා සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණි.


    දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් දිරිමත් කිරීම සහ පවුල තුළ දරුවන්ට රැකවරණය සැලසීමේ වැදගත්කම පිළිබඳ ප්‍රජාවේ අවධානය වැඩි කිරීම ද අරමුණු කරගෙන 2011 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් එලෙස හඳුනාගත් දරුවන් 500කට නිසි රැකවරණය හා අධ්‍යාපන පහසුකම් ලබාදීමට පරිවාස හා ළමාරක්ෂක ‍සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

     
    මේ අනුව එලෙස හඳුනාගත් දරුවන් සඳහා මාසිකව රුපියල් දෙසිය පනහක ශිෂ්‍යාධාරයක් සහ එම දරුවන්ගේ  පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් වෙත රුපියල් දස දහස බැගින් ස්වයං රැකියා ආධාර මුදලක් ද ලබාදෙන ලදී.

    එසේම විවිධ ආර්ථික අපහසුකම් නිසා අධ්‍යාපන කටයුතු අතරමඟ නැවතීමට ඉඩ ඇති දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසි ලෙස සිදුකරගෙන යාමටත්, විශේෂ සැලකිල්ලක් යොමුකරමින් අදාළ ශිෂ්‍යත්ව වැඩසටහන ‍ක්‍රියාත්මක වේ.ෆ්‍රීඩ්ස්රෝ සංවිධානයේ අනුග්‍රහය ද ඇතිව වසර තුනක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ දරුවන් අතරින් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යන දරුවන් සහ දෙමාපියන් හෝ භාරකරුවන් අතරින් තමන් ආරම්භ කළ ස්වයං රැකියාව සාර්ථකව සිදුකරගෙන යන පිරිස ඇගයීමට ලක්කිරීමේ " දිරි දිවි ප්‍රසාදිනී" නම් වූ වැඩසටහන පසුගියද සඳුදා මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී පැවැත්විණි.

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරු ද පැමිණ සිටියහ.


    මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා කාලය අතරතුර අදාළ ශිෂ්‍යාධාරලාභී දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය හා සෞඛ්‍ය තත්ත්වය ආදිය පිළිබඳව වරින්වර පසුවිපරම් කරන ලද අතර, දරුවන් අපයෝජනයන්ගෙන් වළක්වා ගැනීම සඳහා දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම්, දරුවන්ගේ නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන් මෙන්ම ස්වයං රැකියාලාභී දෙමාපියන් හෝ භාරකරුවන් කරගෙන යනු ලබන ස්වයං රැකියා පිළිබඳව ද පසුවිපරම් සිදුකරන ලද අතර, ඒ යටතේ මෙම ඇගයීමට ලක් වූ දරුවන් හා දෙමාපියන් තෝරාගන්නා ලදී.

    ඒ අනුව මෙම " දිරි දිවි ප්‍රසාදිනී"    වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විශේෂ කුසලතා දැක්වූ දරුවන් 57 දෙනෙක් සහ ස්වයං රැකියා ව්‍යාපාර සාර්ථකව සිදුකරගෙන යනු ලබන දෙමාපියන් 57 දෙනෙක් ඇගයීමට ලක් කෙරිණි.

    අවදානමට ලක් වූ දරුවන් සඳහා සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ වඩාත් ඵලදායි හා ප්‍රායෝගික වැඩසටහනෙහි පසුවිපරමේ සාර්ථකත්වය නිසා මෙලෙස දක්ෂ දරුවන් හා දෙමාපියන් ඇගයීමට ලක්කිරීමට හැකි වී ඇතැයි ද  "හොඳම දේ දරුවන්ට" යන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සංකල්පය  අද ප්‍රායෝගික යථාර්තයක් වී ඇතැයි ද උඩරට කලා සංගම් ශාලාවෙහි පැවති  "දිරි දිවි ප්‍රසාදිනී"  උත්සවයේ දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    ඉතිහාසයේ සිට මේ දක්වා මේ රට තුළ කාන්තාවට ප්‍රමුඛ තැන ලබා දී ඇති බවද පවුල තුළ කාන්තාවට ඇති ගෞරවනීය තත්ත්වය මෙරට සංස්කෘතිය තුළ ආරක්ෂා වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.එමෙන්ම එදා නගරයට සීමා වී තිබූ සංවර්ධනය අද ගමටත් ලැබී ඇති බවත්, එදා යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි උතුරේත්, දකුණේත් දරුවන් අද බියෙන් සැකෙන් තොරව අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ඇතුළු අනෙකුත් අංශවලින් සුවිශේෂී දක්ෂතා දක්වන බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා  තවදුරටත් පැවසීය.

    ලෝකයේ හොඳම සෞඛ්‍ය වැඩසටහන මෙරට ඇති බවත්, යුනෙස්කෝ වාර්තාවන්ට අනුව එදා ආසියාවේ වැඩිම මාතෘ හා ළමා මරණ තිබූ මෙරට අද එම තත්ත්වයෙන් මිදී සෞඛ්‍ය අංශයෙන් ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇතැයි ද මෙහි දී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

    ෆ්‍රීඩ්ස්රෝ සංවිධානයේ අධ්‍යක්ෂ කුමාර් රාසයියා පියතුමා, පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් යමුනා පෙරේරා, මහනුවර දිසාපති ගාමිණි සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ද මෙහි දී අදහස් දැක්වූහ.

    ECB


    thissak2

    thissak3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya