අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදවච්චිය ජාතික පාසලට මහින්දෝදය තාක්ෂණ පීඨයක්

    ජූනි 17, 2014

    මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ රුපියල් මිලියන 80ක වියදමින්  ඉදිකිරීමට නියමිත තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරිණි.


    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් මහින්දෝදය තාක්ෂණ පීඨ දෙසීය පණහක් මේ වසර නිමවීමට පෙර ඉදිකිරීමට නියමිත ය. ඒ අනුව මේ සඳහා එක් තාක්ෂණ පීඨයක් වෙනුවෙන් රුපියල් මිලියන අසුව බැගින් සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන විසිදහසක් (20,000) වැය කිරීමට නියමිත වේ.

    අනාගත දරු දැරියන් දැනුමින් සන්නද්ධ කරමින් නව ලොවට ප්‍රවේශ කර වීම සහ අනාගත ‍ලෝකය ජය ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම දැවැන්ත ව්‍යාපෘතිය යටතේ උතුරුමැද පළාතේ තාක්ෂණ පීඨ විසි දෙකක් ඉදි කෙරේ.
    මහල් තුනකින් සමන්විත මෙම නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල තුළ ජෛව විවිධත්ව තාක්ෂණ විදුලි පරිපථ, විදුලි කාර්මික, සිවිල් ඉංජිනේරු හා කාර්මික ශිල්පීය ඒකකයන් ස්ථාපිත කිරී‍මට නියමිත ය.

    මැදවච්චිය වැනි ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සහ විද්‍යා පීඨ ඉදිකිරීම නිසා ගමේ දරුවන්ටත් අධ්‍යාපනය ජයගන්න අවස්ථාව උදා වී ඇති බවත්, දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපළ ඉලක්ක කර ගනිමින් ඊට මුහුණ දීමට මේ තුළින් හැකිවන බවත්, මැදවච්චිය ජාතික පාසලේ පසුගියදා පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, එදා එක් එක් රජයන් මගින් කාලයෙන් කාලයට අධ්‍යාපන ක්‍රමවේද, ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා දරුවන් අසරණ වුණා. එයිනුත් වැඩිම අසාධාරණය සිදුවුණේ ගමේ අහිංසක දරුවන්ටයි.නව නිපැයුම් තරගයකට ඉදිරිපත්ව ලෝකයෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් මිහින්තලේ කපුගේ දරුවා මෙන්ම ලෝකයෙන්ම දෙවන තැන ලබාගත් තඹුත්තේගම නාමල් උදාර දරුවාටත් එවකට පැවති අධ්‍යාපන ක්‍රමය නිසා සරසවි යන්න අවස්ථාව නැති වුණා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මෙම උදාර වැඩසටහන තුළින් නැවතත් එවැනි දක්ෂ දරුවන්ට කිසිදු අසාධාරණයක් සිදුවන්නේ නැහැ.


    ඒ වගේම ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් එම සිසු දරුවන් දෙදෙනා අද ඇමරිකාවේ සහ කොරියාවේ සරසවිවල වැඩිදුර අධ්‍යාපනය ලබනවා. දරුවන්ට ආදරය කරන එවැනි සංවේදී නායකයෙකුයි අද මේ ‍මව්බිම පාලනය කරන්නේ.   
                                                              

    ඉතිහාසයේ කවරදාකවත් නොමැති තරම් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන මේ රජය අධ්‍යාපනය කප්පාදු කරන බවට විපක්ෂ චෝදනා කරන්නේ හොඳ සිහියෙන් නොවන බව පෙර පාසල් දරුවනුත් දන්නා‍ කරුණක්. දවසින් දවස අධ්‍යාපනය වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වැය කරනවා කියන්නේ අධ්‍යාපනය නැති කිරීම ද? අධ්‍යාපනයේ දියුණුවත් සමඟ මේ රටේ උගතුන්, බුද්ධිමතුන් බිහිවෙනවාට විපක්ෂය අකමැතියි. ඔවුන්ගේ කුහකකම තමයි මේ ඉස්මතු වන්නේ.


    ජනාධිපතිතුමන්ගේ මේ නව වැඩසටහන නිසා අද ගමේ දරුවා ඉංග්‍රීසි, ගණිතය හෝ විද්‍යාව අසමත් වුණත් ඔවුනගේ අනාගතය ජයගන්න වෙනත් විෂය ක්ෂේත්‍රයන් තෝරාගන්න තිබෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වුනත් කාර්මික දැනුම තිබෙන දරුවෙකුට ඒ තුළින් ඉදිරියට යන්න අවස්ථාවන් උදාවෙලා.

    මේ මහින්දෝදය විද්‍යාගාර සහ විද්‍යාපීඨ ආරම්භ කිරීමෙන් වැඩිම සෙත සැලසෙන්නේ ගමේ අහිංසක දෙමව්පිය‍න්ගේ දරුවන්ටයි. 1977 බලයට පත්වුණ එක්සත් ජාතික පක්ෂය එදා බ්‍රිතාන්‍යයීන්ගේ අධ්‍යාපන ක්‍රමය මේ රටේ ඇතිකරමින් ලන්ඩන් ඕ ලෙවල් සහ ලන්ඩන් ඒ ලෙවල් ආරම්භ කළා. මෙතෙක් ගමේ දරුවන්ට ඇති වූ සෙතක් නැහැ. ඒ වගේම මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ට සාහිත්‍ය රස වින්දනය, ක්‍රීඩාවෙන් ලැබෙන ශාරීරික සුවතාව හා දරා ගැනීම මෙන්ම විවිධ නිර්මාණාත්මක හැකියාවන් අහිමි කළා.

    එදා ඔවුන්ට අහිමි වූ සියල්ල මේ අධ්‍යාපන ක්‍රමය තුළින් නැවත ලබාදීමයි ජනාධිපතිතුමන්ගේ උදාර අපේක්ෂාව. එයට සහය දීම ජාතික යුතුකමක්. ජාතික වගකීමක්. ”
     

    මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ද උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද, උතුරුමැද පළාත් සභා මන්ත්‍රී  සුසිල් ගුණරත්න, මැදවච්චිය ජාතික පාසලේ විදුහල්පති එම්.ජී. අමරවංශ යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යා පීඨ ආචාර්යමණ්ඩලය සහ සිසු දරු දරියන් ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya