අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ මනා දැක්මක් තිබෙනවා Featured

    ජූනි 13, 2014
    අධ්‍යාපනයට රජය විසින් විශාල භෞතික සම්පත් ප‍්‍රමාණයක් වෙන්කර තිබෙන බවත් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් නිර්මාණය කිරීම සඳහා ගුරුවරුන් සහ සිසුන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    පාසලට පැමිණෙන දරුවන් විශ්වවිද්‍යාල සඳහා හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන කරා යොමු කළ හැකි අධ්‍යාපන මට්ටමක් දරුවන්ට ලබාදීම පාසල තුළින් සිදුවිය යුතුයි. මේ තත්ත්වය ඇති කිරීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරයි. රටේ අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට මනා දැක්මක් තිබෙන බවත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ ඇති කරනු ලබන්නේ අධ්‍යාපනයේ මහා විප්ලවයක් ඇති කිරිම සඳහා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයීය ප‍්‍රධාන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සාමාන්‍යයෙන් විෂයමාලා කීපයකට සීමා වූ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් මඟක ගෙනයාමේ වුවමනාවෙන් මේ රජය පෙළෙන බවත් ඒ සඳහා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැපවීමෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන් අතර අතිගරු ජනාධිපතිතුමා සෑම පාසලකින්ම ලැබෙන ආරාධනා පිළිගෙන ඒවාට සහභාගීවෙන බවත් පැවසීය.

     

    පාසල තුළ තාක්ෂණික විෂය ඉගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකිරීම සඳහා මේ වර්ෂයේ රුපියල් මිලියන 60,000ක් පමණ වෙන්කර ඇත. විවිධ තාක්ෂණික විෂය ධාරා යටතේ සිසුන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබී තිබේ. මහින්දෝදය විද්‍යාගාර, භාෂා විද්‍යාගාර පරිගණක තාක්ෂණාගාර සහ තාක්ෂණවේදය ඉගැන්වීමට යන නව වැඩපිළිවළ සමඟ පාසල තුළ ගුණාත්මක වෙනසක් සිදු වේ. පාසලේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා උනන්දුවීම ගුරු දෙගුරුන්ගේ සහ සිසු දරුවන්ගේ වගකීමකි. දෙමාපියන් දෙපිල බෙදී විදුහල්පතිවරයා පිළිබඳ හොඳ නරක පිළිබඳව අදහස් දක්වමින් බෝඩ් ලෑලි අල්ලන්න ගියොත් මේ සියල්ල බිඳ වැටෙනු ඇත. පාසලක් සම්බන්ධයෙන් ගුරුන් හෝ දෙගුරුන් බෝඩ් ඇල්ලීම නිශ්ඵල ක‍්‍රියාවකි. ඒ සඳහා ක‍්‍රියාත්මකවීමට නිලධාරීන් සිටී. නිලධාරීන් සමඟ සාකච්ඡා කර කටයුතු කරනවා නම් පාසල තුළ විනයක් ඇති වේ. පාසල දරුවාගේ විනය හදන තැනයි. අධ්‍යාපනය තුළින් කෙනෙකුගේ ගතිසිරිත්, විනය පමණක් නො ව සමාජීය චාරිත‍්‍ර පවා ඉගෙන ගන්නේ පාසලෙන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ලංකාවේ පළමු අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නගර මහතා විසින් සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයීය ප‍්‍රධාන ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය. 

     

    නව ගොඩනැගිල්ල ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය, ඛනිජතෙල් සංස්ථාව හා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමත් එක්ව ප‍්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පැවරිණි. මේ සඳහා රුපියල් මිලියන 6.5ක් පමණ වැය කෙරිණි. දැයට කිරුළ වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන විසින් ඉටුකරනු ලබන ප‍්‍රජා සේවාවක් වශයෙන් මේ කාර්යය සිදු විය.    
     

    මෙම අවස්ථාවට සමගාමීව රුපියල් මිලියන 25ක් පමණ වැය කරමින් ඉදිකිරීමට නියමිත සඳලංකාව මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨ ගොඩනැගිල්ලට ද මුල්ගල තැබිණි. රුපියල් මිලියන 10ක් පමණ වටිනාකමින් යුතු තාක්ෂණවේදය අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා අනෙකුත් අධ්‍යයන උපාංග පාසලට මේ වනවිටත් ලැබී ඇත. 

     

    වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන නීතීඥ චන්දන යාපා සහ කමල් හේරත්, පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර ඇතුළු දේශපාලන අධිකාරිය, ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්. ඩබ්ලිව්. ද සොයිසා, ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සන්ධ්‍යා විජේබංඩාර, ඒ.එච්.එස්. විජේසිංහ, ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා යු.එල්.බී. ජයලලිතා යන මහත්ම මහත්මීන්, සඳලංකාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු නිලධාරීන් පිරිසක් සහ විද්‍යාලයේ ගුරු දෙගුරුන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya