ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, චීනයේ සිවු දින නිල සංචාරය අතර තුර බෙයිජිංහිදී චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (25) වනදා සිට 29 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය.
පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙයයි. විශේෂයෙන් ම ජනාධිපතිවරයා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ විශේෂ සමුඛ සාකච්ජාවට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වසර දහස් ගණනක් පෙර සිට ම ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ආ බවයි.
1957 වසරේ දෙරටේ තානාපති සබඳතා ඇති වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පිහිටු වීමෙන් පසුවය. ඊටත් පෙර අත්සන් තැබූ චීන ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුම විශේෂයෙන් ම මතක් කළ හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දෙරටේ සබඳතා හොදින් වැඩි දියුණු වූ බව හෙතෙම එහිදී පෙන්වා දුන් බව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Shi Yue මහත්මිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පැවසීය.
මෙවර චීන සංචාරය ඉතා සාර්ථක එකක් වූ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළ බවද චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය තවදුරටත් පැවසීය.
ඉතිහාසයේ සිට ම ශ්‍රී ලංකාව මුහුදු සේද මාවතේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙසට හැඳින්විය හැක. චීනය ඉදිරිපත් කළ 21වැනි සියවසේ මුහුදු සේද මාවතේ සහයෝගිතා යෝජනාව පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ඉදිරි සහයෝගිතා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සකස් කළ හැකි වන බවයි. ඒ පිළිබඳව දැනටමත් සාකච්ජා රැසක් පවත්වා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, ඊට අදාළ තාක්ෂණ ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප්‍රශ්නද පිළිබඳව සාකච්ජා කරමින් ඉදිරි පියවර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
චීන ජනාධිපති ෂී චින් පිං මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. ඒ අවස්ථාවේදී දෙරටේ සහයෝගිතා ගිවිසුම් රැසකට අත්සන් තැබීමට සමත් විය. එම ගිවිසුම් නව රජය ක්‍රියත්මක කිරීමට බලාපොරොත්තු වනවා ද යන්න චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශය ජනාධිපතිවරයාගෙන් නඟන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසුවේ එම ගිවිසුම් සහ මෙවර සංචාරයේදී දෙරට අත්සන් තැබූ වෛද්‍ය හා කෘෂිකාර්මික ඇතුළු ගිවිසුම් කිහිපය තුළින් එළඹුණු එකඟතාවන් පියවරින් පියවරට ක්‍රියත්මක කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවයි.
චීන ජනාධිපතිවරයා පසුගිය වසරේ යෙදුණු සංචාරය ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේදී නොබැදී ප්‍රතිපත්තිය ක්‍රියත්මක වන බවත්, ලෝකයේ සෑම රටක් සමඟ ම හිතවත් හා මිත්රශීලීභාවයෙන් අපක්ෂපාතීව ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී අවධාරණය කරන ලද බව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ කටයුතු වලට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් තිබෙන කටයුතු වලදීත් චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය විශේෂයෙන් ම වැදගත් බවත්, පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, චීනය අත්කර ගත් පුදුම සහගත සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව පාඩම් ඉගෙන ගත යුතු වන බවත්, 1983 වසරේ තමා මුල්වරට චීනයේ සංචාරය කරන විට දුටු චීනයට වඩා මේ වන විට ලබා ඇති සංවර්ධනය ඉතා විශාල වන බවත්ය.