නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

    ජූලි 15, 2024

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට එම සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නීතිඥවරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය,

    පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩකරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා. 2022 මැයි 09 වනදා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළයුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂනවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි.

    2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා  කිරිමට මට අවස්ථාව ලැබුණා. රට තුළ ඉදිරියේ දී ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා.

    මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.

    ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි.  එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුනේ නැහැ. එය වැරිදි ක්‍රියාවක් බව කිවයුතුයි.

    එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ.  විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

    ඉන් පසුව මැයි 09 දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස් වුණා. එම අවස්ථාවේදී පොහොට්ටුවට ආණ්ඩු බලය පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් පැවතුණේ නැහැ. අප එය පිළිගත යුතුයි. ඇමතිවරුන් ඉල්ලා අස් වුණා. අප බ්‍රිතාන්‍ය ක්‍රමය ගැන කතා කරන නිසා විකල්ප අගමැතිවරයාට එය භාර ගැනීමට තිබුණා.

    බොහෝ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස් වුණොත් සම්ප්‍රදාය අනුව විපක්ෂනායකතුමාට එම පළමු අවස්ථාව ලබාදිය යුතුයි කියලා. මම කිව්වා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, අපි ඕන කෙනෙකුට උදව් කරන්නම් කියලා. නමුත් මැයි 10 වනදා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔහු පැමිණියේ  නැහැ. අගමැති ධූරය භාර ගන්නේ නැහැ කියලා ඔවුන් තීරණය කර තිබුණා. ඔහු තමන්ගේ යුතුකම ඉටු කළේ නැහැ. කෙටි දේශපාලනයෙන් යන්න උත්සාහ කිරීම නිසා ඉදිරියට එන්න බැරි වුණා.

    ඇතැමුන් අය වැය විවාදයේදී  රට ගොඩගන්නේ කොහොමද කියලා අදහස් ඉදිරිපත් කළා. නමුත් වගකීම භාරගන්න අකමැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊට උත්සාහයක්වත් දැරුවේ නැහැ. නමුත් අප මේ වගකීම භාරගත්තා. ඒ වන විට රටේ බංකොළාත්භාවය ප්‍රකාශ කර තිබුණා. එයින් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා.  ජනාධිපති කවුද කියන එක මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට රට බේර ගැනීමට අවශ්‍ය වුණා.

    අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබු අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ ඇමතිතුමා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබා දෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.

    ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා. අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා, නමුත් එය ප්‍රශ්නයක් නොවෙයි.   කොච්චර ගැටුනත් ඡන්ද ප්‍රතිඵල අනුව බලය ජයග්‍රාහකයාට ලබා දී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණයි.

    අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණයි. ඉන්දිරා ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති වූ ප්‍රශ්න අප දන්නවා.

    මේ වැඩකටයුතු කරන අතරතුර ජූලි 09දා සිදුවීමට මුහුණදීමට අපට සිදු වුණා. ජුලි 09වනදා හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ගියා. එම අවස්ථාවේ අගමැතිවරයා ලෙස මටත් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වා.

    මම කාටද අස්වීමේ ලිපිය භාර දෙන්නේ. මහ මුහුදුට ගිහින් ජනාධිපතිවරයා සොයන්නද, මම කිව්වා මට ඉවත්වීමට නම් බහුතරයක් ඇති කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායකයා අපිට කියනවා නැහැ අපට කවුරු හරි ගන්න ඔබ ඉවත් වෙන්න කියලා.

    එහිදී මම කිව්වේ  ඉන්න කෙනා පළමුව ඉදිරිපත් කරන්න කියලයි. ඊට පස්සේ ඔවුන් කියනවා කථානායකතුමාට භාර ගන්න කියලා. කථානායක තුමා කිව්වා මට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්, ඒත් ආර්ථිකය පාලනය කිරීමේ වගකීම මට ගන්න බැහැ කියලා. මේ විදියට රටේ දේශපාලන ක්‍රමය කැඩී ගියා.

    අවසානයේ පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ කළා. එම අවස්ථාවේ පක්ෂ නායකයන් සියලුදෙනා පාර්ලිමේන්තුව ඇතුලේ සිටියා. හමුදාපතිවරයා ඒ බව දැනුම් දුන් විට ඔවුන් පැවසුවේ අගමැතිවරයා ඉවත්විය යුතුයි කියලා. එම අවස්ථාවේ හමුදාපතිවරයාට පණිවිඩයක් ලැබුණා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පැත්තට එනවා කියලයි. ඉන් පසුව මිනිත්තු 05න් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා.  පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා හමුදාපතිවරයාට දැනුම් දෙන්න මට සිදු වුණා. මම ඒ පිළිබඳ කථානායකවරයාටත් දැනුම් දුන්නා.

    ඔවුන් අවශ්‍ය අවස්ථාවේ වගකීම් භාර නොගෙන  සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටියා. සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඉන් පසුව මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා. පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා. සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවක් හැඳුවා. හිටපු ඇමතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා. මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ. ඇතැම් අය අයින් වුණා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැ.

    දේශපාලන පක්ෂ ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා. ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා.  එදා ඉදලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා. අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි. දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා.

    අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කමිටුව, චීන එක්සීම් බැංකුව හා පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟ වූ ගිවිසුම් ඒ අයුරින් ක්‍රියාත්මක කරනවා. අපිට විවිධ පෙරොන්දු දෙන්න බැහැ. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ. අප එය වටහා ගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටවාවකට ගමන් කළ යුතුයි.  ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන්. සිංගප්පූරුව, වියට්නාමය,  වැනි රටවල් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම නිසා අද දියුණු වී තිබෙනවා. දේශපාලනය කරන විට මූලික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථික රාමුව නොකඩා ඉදිරියට ගෙන යා යුතුයි. අද බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මෙම රාමුව බිඳ දැමීමටයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් කළ පසු පසුගිය සතියේ සහ ඊට පෙර වැඩ වර්ජන කීයකට මුහුණ දුන්නද, එහෙම වෙන්නේ මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසායි. වැඩ වර්ජන කරන්න අවශ්‍ය නැහැ. තමන් එක් පක්ෂයකට කැමති නැත්නම් වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න. ඔවුන් උත්සාහ කළේ මෙම ආර්ථික රාමුව බිඳ දැමීමටයි. නමුත් ජනතාව ඊට විරුද්ධ වුණා. දැන් අපට තිබෙන්නේ රට  ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
    අද මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු.

    රටට ස්ථාවර ආර්ථික  ක්‍රමයක් අවශ්‍යයි. ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී සියලුදෙනා සිතුවේ අන්තවාදී දක්ෂිණාංශය ජයග්‍රහණය කරනු ඇති බවයි. නමුත් එහි මැද අවස්ථාවේදී දක්ෂිණාංශයක්, වමත් තිරණය කළා අපි තරගයකට යන්නේ නැතිව ඒ ආසනවල තුන්වැනියා ඉවත් කරමු කියලා. මගේ පක්ෂය නම් තුන්වැනියා මගේ පක්ෂයෙන් අයින් කරනවා, ඔබේ පක්ෂයෙන් ඔබ අයින් කළ යුතුයි කියලා. දැන් මේක අනෙක් පැත්තට පෙරළී තිබෙනවා. ඒ අනුව එකට වැඩ කර ඉදිරියට යාමට අවස්ථාවන් තිබෙනවා. අප මේ රට තුළ ඇතිකළ යුත්තේ එම තත්ත්වයයි.

    අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා. අද ඔබේ පැමිණීම පිළිබඳවද අප ස්තූතිවන්ත වෙනවා

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා,

    රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් මේ අවස්ථාවට නීතිඥවරුන් රැසක් පැමිණ සිටිනවා. අපේ දේශපාලන මූලය කොතනද? අපි කාවද නියෝජනය කරන්නේ? අපේ දේශපාලන ඉතිහාසය මොකක්ද? පක්ෂය මොකක්ද ? යන සෑම කාරණයක් ගැනම අපි කවුරුත් දැනුවත්. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රථම වතාවට මම  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නේ ඇයි කියලා.

    අපි සියලු දෙනා දන්නවා තිස් අවුරුදු යුද්ධය අවසානයේ ඒ යුද්ධය අවසන් කළ නායකයා ලෙස තවත් වාරයක් රට පාලනය කිරීමේ අවස්ථාව එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නා. ඒ යුද්ධය අවසන් කර තවදුරටත් රට ස්ථාවර කිරීම සඳහායි. ඊට සමාන තත්ත්වයක් තමයි මේ මොහොතේ තිබෙන්නේ.

    ඔබ කාටත් මතක ඇති මීට වසර දෙකකට පෙර රට තිබු තත්ත්වය. 2022 අප්‍රේල් මාසය වන විට රටේ මුදල් අමාත්‍ය ධූරය බාරගන්නත් කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා තාවකාලිකව එම ධූරය මට දැරීමට සිදුවුණා. එදා අපේ විදෙස් සංචිතය තිබුණේ ඩොලර් මිලියන 20යි. එක පුරවැසියෙකුට එක ඩොලරයක් බැගින්වත් තිබුණේ නෑ. රට පුරා පෝලිම් තිබුණා. ඉන්ධන නෑ, ගෑස් නෑ, විදුලි කප්පාදුව පැය 13 ක් වෙලා. උද්ධමනය 76% ට ගිහින් තිබුණේ. විදෙස් ණය  ගෙවා ගන්නවත් බැරි තැනට රට පත්වුණා.  ලංකාවට මොකද මේ වුණේ කියලා ජාත්‍යන්තරයේ අපේ හිතවතුන් කම්පා වුණා.

    නමුත් මේ වන විට උද්ධමනය 1.5% ක් අගයකට ගෙනවිත් තියෙනවා. රටේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6ක ආසන්නයට ගෙනවිත්  තිබෙනවා.මේ තැනට රට ගෙන ඒම පහසු කටයුත්තක් වුණේ නෑ. දේශපාලනය ගැන නොහිතා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වුණා. ඒ තීන්දු නොගැනීම නිසා සිදුවූ විනාශය අපි අත්දැක්කා. විවිධ කටයුතු වලට විවිධ පුද්ගලයන් දක්ෂයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යළි ගොඩනගන කටයුත්තට දක්ෂ බව පොදු පිළිගැනීම වුණා. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඒ වෙනුවෙන් සහාය දීමට පොදුජන පෙරමුණ තීරණය කළේ.

    නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට ආරාධනා කළා. එවකට මම මුදල් අමාත්‍ය ධුරය දැරීම නිසා ඒ ගැන හොඳින්ම දැනුවත්. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අභියෝගය බාර ගැනීමට පෙර එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් මම විපක්ෂ නායකවරයාට කතා කළා. ඔහු කිව්වා හර්ෂ ද සිල්වා මහතාට කතා කරන්න කියලා. ඉන්පසු මම හර්ෂ ද සිල්වා මහතාට කතා කළා. ඒ අවස්ථාවේ ඔහු මගෙන් විමසා සිටියා මහබැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවෙන්න පුළුවන්ද කියලා. මම ඇහුවා ඔවුන් එවන්න අවශ්‍ය කොතැනටද කියලා.

    විපක්ෂ නායක කාර්යාලයට එවන්න කිව්වා. ඒ සමඟ එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ විපක්ෂ නායකවරයා ද හර්ෂ ද සිල්වා මහතා සමඟ ඊට සහභාගිවන බවත් සඳහන් කළා.

    එදා  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියේත්,  මුදල් අමාත්‍යාංශයේ  වත්මන් ලේකම් මහින්ද සිරිවර්ධන මහතායි. එදා මහබැංකු අධිපතිවරයා වුනේත් වත්මන් මහබැංකු අධිපතිවරයා වන නන්දලාල් වීරසිංහ මහතායි. ඔවුන් සමඟ විපක්ෂ නායක ඇතුලු කණ්ඩායම සාකච්ඡා කළා. රටේ තත්ත්වය හිතුවට වැඩිය බරපතල බව හර්ෂ ද සිල්වා මහතා පසුව සඳහන් කළා.  එමඟින් වක්‍රව කියවුණේ ඔවුන් මේ මොහොතේ රට භාර ගැනීම ඔවුන්ගේ දේශපාලනයට අවධානමක් බවයි. එහිදී මට හැඟී ගියේ රට සෑම අංශයකින්ම කඩා වැටී කුඩු වී ගිය පසුව ඔවුන් බලය ගැනීමට සූදානම් වී සිටින බවයි.

    නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොන්දේසි දැම්මේ නැහැ. මා මුදල් ඇමති ලෙස කටයුතු කරන කාලේදීත් එතුමා උපදෙස් දුන්නා. එතුමා  තමන් ගැන හිතුවේ නැහැ. එතුමා සිතුවේ මේ රට පත්ව තිබෙන තත්ත්වය ගැන පමණයි. ඒ අනුව එතුමා අද ආර්ථික ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සාර්ථක වී තිබෙනවා. එහි ප්‍රතිඵල දකින්න තිබෙනවා. ඒත් මේ සම්බන්ධ විවේචන මිස විකල්පයක් ඉදිරිපත් කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ‍ජනාධිපතිතුමා දැමු ආර්ථික පදනම කඩා වැටෙන්න දෙන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට සහාය ලබා දී රට ගොඩනැගීමට එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    අධ්‍යාපන අමාත්‍ය නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා,

    මේ වසර දෙක තුළ තරම් පාර්ලිමේන්තු ඉතිහාසයේ නව පනත්, සංශෝධන ගෙනා ආ වසර දෙකක් නැති බව කිව යුතුයි. ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල තුළ ඉදිරියේදී මීටත් වැඩා නව පනත්, සංශෝධන ගෙන ඒමට සිදු වෙනවා. ගෙවී ගිය වසර දෙකක කාලය ඉතාමත් අභියෝගාත්මක කාලයක්. මේ වසර දෙක පුරාම ජනාධිපතිතුමාගෙන් සියලුම ක්ෂේත්‍රයන්ට නිරන්තර උපදෙස් ලබාදීමත් සිදු වෙනවා.

    අප ගත කළේ පෙළ පොත් මුද්‍රණය කර ගැනීමට නොහැකිවූ, නිල ඇඳුම් ලබා දීමට නොහැකි වූ, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට යන්න ගුරුවරුන්ට ඉන්ධන නොමැති වූ කාලයක් අප ගත කළේ. දැන් ඒ තත්ත්වයෙන් අප ගොඩ ඇවිත් තිබෙනවා. ඒ දරුණු ආර්ථික තත්ත්වය මේ වසර දෙක තුළ කළමනාකරණයක් කර ගෙන තිබෙනවා.

    විපක්ෂයේ තත්ත්වය  මොනවගේද කියලා, පරාටේ නීතිය සම්බන්ධව විපක්ෂය හැසිරුණු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. ඔවුන් වසර එකහාමාරක් පරාටේ නීතිය ගැන කතා කරමින් හිටියා. නමුත් ඔවුන් පැවසූ අවස්ථාවේ පරාටේ නීතිය සංශෝධනය කළා නම්, ඒ අවස්ථාවේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා.

    ඒ වගේම තමයි, නියමිත වේලාවට පරාටේ නීතිය වෙනුවට ඊට අදාළ සහනය දීමට ආණ්ඩුව කටයුතු කළා. ඊට අදාළව අපි සංශෝධනයක් ගෙනා විට විපක්ෂය කළේ, සංශෝධනයට සංශෝධනයක් ගෙන ඒම වෙනුවට මූලික නීතියට සංශෝධන ඉදිරිපත් කරමින් සිටීමයි. ඔහොම තමයි විපක්ෂයේ කටයුතු. මෙතැනින් එහාට යන්න නම් මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගත යුතුයි. එය ඇති කර ගන්නේ කොහොමද කියන කාරණය මේ වසර දෙක තුළ ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ රට ගොඩනැගීමේ නිවැරදි වැඩපිළිවෙළ ජනාධිපතිවරයා මේ වන විට රට තුළ ක්‍රියාත්මක කර ඇති බවත්, රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් එතුමාගේ නායකත්වය ඉදිරියටත් රටට අවශ්‍ය බවයි.

    වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි. දොලවත්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු සහ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya