මෙම ආචාර්යවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට විදෙස්ගතව ඇති අතර ඔවුන් විශ්වවිද්‍යාලවලට නැවත වාර්තා කිරීම පවා පැහැර හැර ඇති බවත් මෙම මුදල අය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය හෝ බැංකු පද්ධතිය පියවර ගෙන නොමැති බවත් ඇමැතිවරයා පැවැසුවේය.
කේ.අයි.යූ. සහ හොරයිසන් පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලැබීමට ලියාපදිංචිව ඇති දරුවන්ට රාජ්‍ය බැංකුවලින් ලබාදෙන පොලී රහිත ණය නොගෙවීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නය අදාළ කර ගනිමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.
රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව හා මහජන බැංකුව ආරම්භ කළේ රටේ දේශීය ආර්ථිකය නැංවීමට. මේ බැංකු හරහා විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය හා කර්මාන්ත නැංවීම අරමුණු කර තිබෙනවා. සිරිමාවෝ මැතිණියගේ කාලයේ සෑම කෘෂි ආයතනයකම ලංකා බැංකු ශාඛාවක් තිබුණා. ඒ ඒ ප්‍රදේශවල ජනතාවට කෘෂි කටයුතු කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදුන්නා. ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ තෙවැනි අදියරේ ණය ප්‍රමාණයට අදාළව අක්‍රීයව පවතින ණය ප්‍රමාණය රුපියල් බිලියන 602 ක්. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ට සාධාරණ පොලියකට ණය දීමට තිබියදී රාජ්‍ය බැංකු දෙක අනුගමනය කරන අනුවණ ප්‍රතිපත්තිය නිසා රටට රුපියල් බිලියන 602 ක මුදලක් අහිමි වෙලා තිබෙනවා. මේ අනුව සලකා බැලීමේදී රාජ්‍ය බැංකුවල මූල්‍ය ප්‍රතිපත්ති විශාල ලෙස ප්‍රතිශෝධනයක් කළ යුතුයි.