නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔන්ලයින් පනත ගෙනාවේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව රැකීමට නොවේ - සංශෝධනය විය යුතු තැනක් තිබේ නම් ඒ් සඳහා බාධාවක් නැහැ -අධිකරණ ඇමති

    පෙබරවාරි 08, 2024

    ඔන්ලයින් පනත ගෙනාවේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව රැකීමට නොවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. නමුත් මෙම පනතේ සංශෝධනය විය යුතු තැනක් තිබේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

    ඔන්ලයින් පනත තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු වලට අනුකූල නොවන වගන්ති කිහිපයක් ඇතුල් කර ඇතැයි කියමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහත්වරු යොමු කළ වාචික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පාර්ලිමේන්තුව විසින් සම්මත කළ මෙම පනතේ අකුරක් හෝ වෙනස් කළ නොහැකි බවත් එහෙත් අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා සූදානම් බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය. පසුගිය වසරේ පමණක් මාර්ග ගතක්‍රම නිසා අසාධාරණයට ලක් වූ වින්දිතයින් 5000ක් පමණ සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ඔන්ලයින් පනතට අභියෝග  කරමින්  පෙත්සම්  40කට වැඩි ගණනක් ඉදිරිපත් වුණා. සති ගණනක් මේ පිළිබඳව විභාග පැවැත්වූවා. මේ පිළිබඳව අධිකරණය දුන් නියෝගයන්ට අනුව මෙම පනතේ අවශ්‍ය සංශෝධන සිදු කළාට පසුව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අයිතියක් නැහැ. නමුත්  ඔිනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කර මෙම පනතේ යම්  යම් අඩුපාඩුකම් තිබේ නම් ඒවා නිවැරදි කිරීමට අපි සූදානම්.

    අද මෙම චෝදනා සිදු කරන අය එදා,  පළාත් පාලන මැතිවරණ පනත සහ පළාත් සභා පනත විකෘති කරමින් මුළු රටේම සිටින ජනතාවට තිබෙන පළාත් සභා ක්‍රමය අහෝසි කළා. ඒ අය තමයි  අද මෙම චෝදනවා එල්ල කරන්නේ. එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව  ඔවුන් තුට්ටුවකට මායිම් කළේ නැහැ. මෙම පාර්ලිමේන්තුවේ අපි ගෙනා  කිසිදු පනතක්  ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කර නැහැ.

    මෙම පනතට ඇතුලත් කළ සංශෝධන පිළීබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යනය කර සහතිකයක් ලබා දුන්නා. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල බව කතානායකවරයාට  දැනුම් දී තිබෙනවා. මෙය සම්මත වූ පනතක්. මේ සම්බන්ධයෙන් විවාද කරන්න දැන් බැහැ නමුත් මෙහි  සංශෝධනය විය යුතු තැනක් තිබේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. අපිට පුළුවන් අවශ්‍ය සංශෝධන සිදු කරන්න යැයිද පැවසීය.

     පනත් සම්මත කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් කර තිබෙනවා. පනතක් කෙටුම්පත් කළ පසු  නීතිපතිවරයා  විසින් එහි ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන්  සහතිකයක් දුන්නාම තමයි අමාත්‍ය මණ්ඩලයට ගෙනියන්නේ . අමාත්‍ය මණ්ඩලය අනමුත කළ පසුපාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කළත් ඒහි ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාවට ලබා දී තිබෙනවා. අපිත් එම කටයුත්තට සහාය වෙනවා. එය වැරදි පනතක් සම්මත කර ගැනීම වළක්වා ගැනිමට තිබෙන අවස්ථාවක්. කෙටුම්පතක් අභියෝගයට ලක් වුණොත් අපි තව දුරටත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා

    පක්ෂ නායක රැස්වීම් 100ක් තිබ්බත්  මෙම පනතේ අකුරක්වත් වෙනස් කරන්න බැහැ. නමුත් අවශ්‍ය සංශෝධන කිරීමට අපි විවෘතයි. මෙය ආණ්ඩුවක් රැකීමටවත්,ජනාධිපතිවරයෙක් රැකීමටවත් නොවේ. ගිය වසරේ පමණක් මාර්ගගත ක්‍රමවේද නිසා අසාධාරණයට ලක් වූ අයගේ පැමිණිලි 5000ක් තිබෙනවා.

    මෙම චෝදනා කරන අය ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට ලෑස්තිද? යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya