ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය , සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් සංවිධානය කළ "කඩාවැටුණු ඉදිකිරීම් කර්මාන්තය, ආර්ථිකය සහ 2024 අයවැය"- ඉංජිනේරුවන් සමග විශ්ලේෂණාත්මක කතා බහක්" සංවාදාත්මක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් GAP HQ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
“දේශීය සහ බහුපාර්ශවික ණය ආපසු ගෙවීම් සඳහා බිලියන 727ක් වැයකර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් ද සමග රු. බිලියන 8898ක වියදමක් දරා තිබෙනවා. ඒ අනුව භාණ්ඩාගාරයෙන් පිටතට ගලා ගොස් ඇති මුදල රුපියල් බිලියන 13392ක් වනවා. ඒ අනුව පසුගිය වසරේ ට්‍රිලියන 10ක පමණ ණය රජය විසින් ලබාගෙන තිබෙනවා. මේ තත්ත්වය මත කවුරුන් හෝ රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳව කතා කරනවා නම් මේ සංඛ්‍යාත්මක ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.
රටේ බහුතර ප්‍රමාණයක් ඉදි කිරීම් සිදුකරන්නේ මහා මාර්ග අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන මගින්. අධිවේගී මාර්ග, පාලම් ඇතුළු සියල්ලෙහි ඉදිකිරීම් මේ වන විට නතර වී තිබෙනවා. ණය ආපසු ගෙවීමේ ගිවිසුම ඇති කරගන්නා තෙක් කිසිදු විදේශීය රටක් හෝ සංවිධානයක් කිසිදු ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගකර ගැනීම පිළිබඳව සියලූම රාජ්‍යයන් සමඟ සාකච්ඡා සිදුකර මේ වන විට අවසන් අදියරට ළඟා වී තිබෙනවා. මාර්තු අප්‍රේල් පමණ වන විට එය අවසන් වනු ඇති බවට මා විශ්වාස කරනවා.
කවුරුන් රටේ ජනාධිපති ධුරයට පත්වුවත්, කවුරුන් ආණ්ඩු බලයට පත්වුවත් ආර්ථික අර්බුදයකට දේශපාලන විසඳුමක් ඇත්තේ නැහැ. ඊට විසඳුම ඇත්තේ ආර්ථිකමය ක්‍රියාකාරීත්වය යළි ඇතිකර ගැනීම තුළින් ක්‍රමානුකූලව සකසා ගත් වැඩ පිළිවෙල ඔස්සේ කටයුතු කිරීම තුළින් පමණයි.
2027 වන විට ඇතිවිය හැකි විදේශ සම්පත් පරතරය ඇ. ඩො. බිලියන 3911ක්.එය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ 329ක්, 2027 අයවැය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 600 ක්, ලෝක බැංකුව විසින් 300ක්, ආසියානු සංවර්ධන බැංකුව 300ක් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන වාසිය 1428 ලැබෙනු ඇති. ඒ අනුව 2027 දී ඇතිවන මිලියන 1500 හිඟය සඳහා ජාත්‍යන්තර වෙළඳ පොලේ ස්වෛරීත්ව බැඳුම්කරයක් මඟින් 1500ක් ලබාගත හැකියි. ඒ වන විට ජාත්‍යන්තර සංචිතය ඇ.ඩො.බිලි. 14කට වඩා වැඩි විය යුතුයි.
වැඩසටහන අවසානයේ අමාත්‍යවරයා ඇතුළු වැඩසටහනේ සම්පත් දායකයින් වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවිය.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වුණු මෙම වැඩසටහනට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ අංශවලට ඉංජිනේරුමය දායකත්වය ලබා දෙන වෘත්තිකයින් රාශියක් එක්ව සිටියහ.
එහිදී වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික අර්බුදය කෙරෙහි බලපෑ දේශපාලනික, ආර්ථික සමාජයිය හේතු සාධක රාශියක් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත කරුණු දැක්වීමක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළ අතර පසුගියදා එළිදැක්වූ "2024 අයවැය- ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය තුළ අන්තර්ගත වූ මෙම අර්බුදය හා ඉන් රට මුදවා ගැනීමට රජය විසින් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ පිළිබඳව කරුණු රැසක් ද විද්වත් සභාව වෙත ඉදිරිපත් කරන ලදි.
මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස මහාචාර්ය රංජිත් දිසානායක මහතා,මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සහ මහාචාර්ය ශිරන්ත හීන්කන්ද මහතා එක්වෙමින් ආර්ථිකයේ විවිධ පැතිකඩ පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක නිරත විය.
ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද මහතා ඇතුළු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජික ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තීයකින් රැසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ