ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති සියළුම බුද්ධි අංශ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය. 76 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතියේ අභිමානය පෙන්වන පරිදි උත්කර්ෂවත් අභිමානවත් පෙළපාලියක් කොළඹ ගාලු මුවදොර අභියසදී ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය. මේ වන විට නිදහස් දින පෙළපාලිය සඳහා අවශ්‍ය සෑම කටයුත්තක්ම සංවිධානය කර අවසන් බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා, මේ සඳහා කිසිදු අතිරේක මුදලක් වැය නොවන බව අවධාරණය කළේය. නිදහස් දින පෙළපාලිය සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාවෙන් නිලධාරීන් 111 ක් සහ සෙබළුන් 3052ක් ද නාවික හමුදාවෙන් නිලධාරීන් 63ක් සහ නාවිකයින් 950ක් ද ගුවන් හමුදාවෙන් නිලධාරීන 67ක් සහ ගුවන් භටයින් 688ක් ද පොලීස් නිලධාරීන් 289ක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් 215ක් ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 380ක් ද ජාතික ශිෂ්‍ය භට බලකායෙන් නිලධාරීන් සහ දරුවන් 551ක් ද සහභාගී වන බවත් පෙළපාලිය සඳහා සම්පූර්ණයෙන් නිලධාරීන් 241 සහ සෙසු නිලයින් 6125ක් මේ සඳහා සහභාගී වන බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එසේම නිදහස් දින පෙළපාලිය සම්මාන පෙළපාලිය ,පා ගමනින් එන පෙළපාලිය සහ යාන්ත්‍රික පෙළපාලිය වශයෙන් ප්‍රධාන කොටස් 03කින් සමන්විත බව කී ආරක්ෂක ලේකම්වරයා, නාවික හමුදාවෙන් නෞකා කිහිපයක් ගොල්ෆෙස් පිටියට යාබද මුහුදේ යාත්‍රා කරන බවත් ගුවන් හමුදාවෙන් ගුවන් යානා 19ක් ගුවනේ පියාසර කෙරෙන බවද කිවේය. පෙළපාලිය වර්ණවත් කිරීම සඳහා අවශ්‍ය සියලුම වැඩ කටයුතු සකස් වී අවසන් බවත් ඒ සඳහා නිසි ආරක්ෂාව සඳහා අප රජයේ බුද්ධි අංශ ,හමුදා අංශ සහ පොලීසිය විශාල වැඩ පිළිවෙලක් යොදවා ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කීය.