නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් කෝටි තුන්දහසක ලෝක බැංකු ණය ආධාර යටතේ මහනුවර විසල් සංවර්ධනය ඇරඹේ.

    ජනවාරි 28, 2024
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ, රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
     මෙම KMTT ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය.
     
     සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුල පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමඟින් දිනකට ගමනාන්ත 193ක්‌ වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත.
     
    ව්‍යාපෘතියේ සමස්ථ කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි.
     
    ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.
     
    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැඩීම භුමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථාන ද කඩා ඉවත් කිරීමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමට නියමිතය.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
    "ඓතිහාසික මහනුවර නගරය අධ්‍යතන ලෝකයට ගැලපෙන පරිදි නවීකරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 2011 වසරේ සැකසුනු සංවර්ධන සැලසුම කිහිප විටක් සංශෝධනය කරමින් උත්සාහයන් රාශියක් දැරීමෙන් අනතුරුව 2019 වසරේදී මේ සඳහා ණය අරමුදල් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව සියලු සැලසුම් සකස් කරමින් ණය මුදල් අනුමත වුවත් කොවිඩ් අර්බුදය ඇතුළු රට මුහුණ දුන් ඉතිහාසයේ නොවූ විරූ අර්බුද රැසක් හේතුවෙන් ඒ සියලු සංවර්ධන යෝජනා ක්‍රම ඇණහිටියා.
     ජාතියේ අනාගත අභිවෘද්ධිය උදෙසා කොතරම් සැලසුම් සකස් කළත් එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කළ හැක්කේ ඒ සඳහා ආයෝජනයට මුදල් තිබේනම් පමණයි. ඉතිහාසයේ පැවති සෑම රජයක්ම යටිතල පහසුකම් සඳහා වන ප්‍රාග්ධන වියදම් දරා තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ලබාගත් ණය මුදල් මගින්. ඊට හේතුව මෙතෙක් පැවැති කිසිදු රජයකට එදිනෙදා පවත්වාගෙන යෑමේ වියදම් දැරීමට ප්‍රමාණවත් තරමේ බදු හා බදු නොවන ආකාරයේ ආදායමක් ලැබී නොතිබීමයි. රජයක් විසින් අනිවාර්යෙන් දැරිය යුතු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සහනාධාර සඳහා රජයේ මුළු බදු ආදායම සම්පූර්ණයෙන්ම වැය වනවා.2022 වර්ෂයේ ඍජු හා වක්‍ර බදු මඟින් ලබාගත් මුළු ආදායම මිලියන 1751යි. එයින් මිලියන 1965ක් එනම් 72% වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි. බිලියන 506ක් සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා වැය කර තිබෙනවා. එයබදු ආදායමෙන් 28%ක්. 2022 වර්ෂයේ මුළු බදු ආදායම ඒ වෙනුවෙන් වැය වී අවසන්. රාජ්‍ය ණය පොලිය බිලියන 1565ක්. අනෙකුත් සියලු සංවර්ධන කටයුතු ඇතුළු සියලු වියදම් දරා තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.
    2023 වසරේ රජයට ලැබුණු බදු හා බදු නොවන සම්පූර්ණ ආදායම රුපියල් ට්‍රිලියන 3යි.භාණ්ඩාගාරය විසින් ගෙවීම් ලෙස ට්‍රිලියන 13ක් වැය කර තිබෙනවා.ට්‍රිලියන 10ක් ණය වශයෙන් ලබාගෙන තිබෙනවා. එලෙස ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් ලෝකයේ සියලු රටවල් ශ්‍රී ලංකාවට ණය ලබා දීම අත්හිටුවා තිබෙනවා. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කරන තෙක් කිසිවකුටත් නැවත ප්‍රාග්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් මේ විට ඉදිකිරීම් අතරමග නැවතී ඇති ව්‍යාපෘති රාශියක්ද නැවත ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. කිසිවෙකුටත් ප්‍රාතිහාර්යයකින් මෙම ජාතික අර්බුදයට  විසඳුම් ලබාදීමේ හැකියාවක් නැහැ.ජනාධිපතිවරයා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයින්  සහ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් මේ ණය නැවත ගෙවීම පිළිබඳව වැඩපිළිවෙලක් සකසා ගෙන තිබෙනවා. තවත් කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අදාළ ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව මෙතෙක් කලක් නතර වී පැවති සංවර්ධන කටයුතු මේ වසරේ නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා.
     එවැනි අපහසුතාවන් මධ්‍යයේ වුවත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ලෝක බැංකු ණය ආධාර වැඩසටහන යටතේයි. රුපියල් කෝටි තුන්දහසකට වැඩි එම ණය මුදල 2025 වසරේ සිට නැවත ගෙවීම ආරම්භ කර යුතුයි. එතැන් සිට වසර විසිපහක් යනතුරු 2050 වසර දක්වා එම ණය මුදල කවර රජයක් යටතේ වුවත් ගෙවා අවසන් කළ යුතු වනවා. මෙලෙස විදේශ ණය ආධාර ලබා ගැනීමකින් තොරව කිසිදු ප්‍රාග්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හැකියාවක් අප වැනි කුඩා ආර්ථිකයක් හිමි රටකට හැකියාවක් නැහැ. මෙම තත්වය වෙනස් කලහොත් නැවතත් පැවති තත්ත්වයට වඩා අවදානම් තත්ත්වයකට රට පත්වීම් වැළැක්විය නොහැකියි.
     මෙලෙස ඉතාමත් පිරිමැසූම්දායි ලෙස කළමනාකරණය සිදුකරගෙන ගියත් 2027 වන විට ඇතිවිය හැකි විදේශ සම්පත් පරතරය ඇ. ඩො. බිලියන 3911ක්‌.එය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ 329ක්‌, 2027 අයවැය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 600 ක්‌, ලෝක බැංකුව විසින් 300ක්‌, ආසියානු සංවර්ධන බැංකුව 300ක්‌ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන වාසිය 1428 ලැබෙනු ඇති. ඒ අනුව 2027 දී ඇතිවන මිලියන 1500 හිඟය සඳහා ජාත්‍යන්තර වෙළඳ පොලේ ස්වෛරීත්ව බැඳුම්කරයක් මඟින් 1500ක් ලබාගත හැකියි. ඒ වන විට ජාත්‍යන්තර සංචිතය ඇ.ඩො.බිලි. 14කට වඩා වැඩි විය යුතුයි. මෙවැනි සැලසුමකින් තොරව රට ගොඩනැගීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් තිබිය නොහැකියි.
    මෙම තත්ත්වය තේරුම් ගනිමින් රට ගොඩනැගීම සඳහා පැරැණි වැරදි නැවත සිදු නොකර, ප්‍රායෝගික යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කළ යුතු වනවා."
     
     ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර  ෆෙයි ඩෙංග් මහත්මිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ආරාධනයෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා,වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ මහතා ,රංජිත් බණ්ඩාර මහතා ඇතුළු මැති ඇමතිවරුන්, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරිය,ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සහ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්  ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya