මහ ඔය 69 මංසන්දියේ පැවති සමාරම්භක අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීම සිදුවිය.
දිගින් කි.මි.58 ක් වන අම්පාර - උහන - මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කි.මි. 33 ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහ ඔය දක්වා කි.මි.25 ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කාණු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.
සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල වෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් යටතේ ක්‍රියාත්මක කර ඇත.
බිබිල වෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි. 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා ණය මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 60 ක මුදලක් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.
ඒ අනුව බිඛිල - චෙන්කලාඩි මාර්ගය කි.මි. 87 සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර - උභන මහඔය මාර්ගය (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කි. මි. 25 සංවර්ධනය කිරීමට නියමිතවේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87 කි.
මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට හැකිවීම, මහනුවර හා මහියංගනය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්‍රිත සංවර්ධනය, පාසිකුඩා, අරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුල ඇතිවන සෘජු හා වක්‍ර රැකියා තුලින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" පසුගිය කාලය තුලම දේශපාලනඥයින් විසින් මහජනතාව බොරුවෙන් රැවටුවා මිස රටක් ආණ්ඩුකරණය පිලිබඳ සැබෑව ගැන දැනුවත් කර නැහැ.කිසිවක් නොදන්නා, ආණ්ඩුකරණය පිලිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නොමැති පිරිස් සාමාන්‍ය ජනතාව තුල වෛරය පමණක් ඇති කරන්නට කටයුතු කලා.සෑම සංවර්ධන කටයුත්තක්ම ඔවුන් දුටුවේ වැරදි ලෙසයි. සොරකම් කිරීමේ මාර්ග ලෙසයි.නමුත් සැබෑ යථාර්තය වන්නේ පැවති සෑම රජයක්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය ඇතුළු සෑම කටයුත්තක් සඳහාම වැය කලේ පුද්ගලික මුදල් නොවේ. මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල්.එම බදු මුදල් දේශපාලන කයිවාරුවලට අනුව බෙදා දෙන්නට බැහැ.ඒ සඳහා නිසි ක්‍රමවේදයක් තිබෙනවා. එලෙස රජයක් එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් දැරීමට ප්‍රමාණවත් බදු අදායමක් කිසිම රජයකට ලැබී නැහැ.
2022 වර්ෂයේ ඍජු හා වක්‍ර බදු මඟින් ලබාගත් මුළු ආදායම මිලියන 1751යි. එයින් මිලියන 1965ක් එනම් 72% වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි. බිලියන 506ක් සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා වැය කර තිබෙනවා. එයබදු ආදායමෙන් 28%ක්. 2022 වර්ෂයේ මුළු බදු ආදායම ඒ වෙනුවෙන් වැය වී අවසන්. අනෙකුත් සියලු සංවර්ධන කටයුතු ඇතුළු සියලු වියදම් දරා තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.
2023 වසරේ රජයට ලැබුණු බදු හා බදු නොවන සම්පූර්ණ ආදායම රුපියල් ට්‍රිලියන 3යි. භාණ්ඩාගාරය විසින් ගෙවීම් ලෙස ට්‍රිලියන 13ක් වැය කර තිබෙනවා. ට්‍රිලියන 10ක් ණය වශයෙන් ලබාගෙන තිබෙනවා. නිදහසින් පසු සියලු රජයන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ දිගින් දිගටම ණය ලබා ගනිමින්. එලෙස ලබාගත් ණය පසුගිය වසර දෙකක කාලයක් ගෙවා නැහැ. එලෙස දිගින් දිගටම කටයුතු කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයින් සමඟ සහ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකළා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඉතිරි ණය මුදල් ගෙවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා. එම එකඟතාවයන් අනුව කටයුතු නොකළහොත් කවුරුන් විසින් ආණ්ඩු බලය හෙබවූවත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයේ පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. ලෝකය අපව අත්හරිනවා. ජාත්‍යන්තරයට බොරු කරමින් රටක් පවත්වාගෙන යෑමට බැහැ. ආණ්ඩුකරණය සහ දේශපාලන කතා පැවැත්වීම යනු දෙකක්.
එවැනි ඉතාමත් අපහසුතාවයන් රාශියක් මධ්‍යයේ වුවත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේද සංවර්ධනය සඳහා වූ සෞදි ණය අරමුදල් යටතේ ලැබෙන ණය මුදලින්. ඒ අනුව මෙම මාර්ගයේ කිලෝමීටර් 25 ක් සංවර්ධනය සඳහා රු.කෝටි 300 ණය මුදලක් ලබාගෙන තිබෙනවා. රටේ ඉදිරි පරම්පරාවන් විසින් මෙම ණය නැවත ගෙවිය යුතුයි.
මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති ජනතාවට දේශපාලනඥයින් හොරු ලෙස පෙන්වාදෙමින් ජනතාව වෛරයෙන් මුසපත් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක මිනිසුන් විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වුණා. ඉතිහාසය තුළ එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එලෙස කටයුතු කළා. තමන්ගේ මතයට විරුද්ධව කටයුතු කළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර දණහිසෙන් පහළට රැගෙන යන ලෙස නියෝග කලා. ප්‍රචණ්ඩත්වය තුළින් රටේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සොයා ගැනීමට හැකියාවක් නැහැ.
නිදහසින් පසු නොමිලේ ලබාදුන් බොහෝ සේවාවන් ඇතුළු සංවර්ධන කටයුතුවලට විශාල වශයෙන් විදේශය රටවලින් ණය ලබාගෙන තිබෙනවා. විදේශීය රටවල බදු ගෙවන ජනතාවගේ මුදලින් අපේ රටට ලබා දුන් එම ණය මුදල් ගෙවීමේ වගකීම අපට තිබෙනවා. එලෙස ලබාගත් ණය මුදල් නැවත ගෙවනතුරු අපට විදේශ ණය ලැබෙන්නේ නැහැ. රටට විරුද්ධව නඩු තීන්දුවක් ලැබුණහොත් ලෝකයේ කිසිදු රටක් ගනුදෙනු කිරීමේ හැකියාව අපට නොමැති වී යනවා. රටක් වශයෙන් සියලු දෙනා සාකච්ඡා කළ යුතු තීරණාත්මක ගැටලුවක් අප හමුවේ තිබියදී අප සාකච්ඡා කරන්නේ වෙනත් දේ පිළිබඳවයි.
මෙම ව්‍යාපෘතිය සඳහාත් ණය ලබා දී තිබෙන්නේ සංවර්ධනය සඳහා වූ සෞදි ණය අරමුදල යටතේ. ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් කෙමෙන් සිදු කරන්නේ රජය නොවේ. රජයට පැවරෙන වගකීම වන්නේ අනාගතයේ එම ණය මුදල් ගෙවීමයි.
ගංවතුර හේතුවෙන් නැගෙනහිර පළාතේ විනාශයට පත් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපතිතුමා හරහා පරිපුරක ඇස්තමේතුවක් සම්මත කරගත යුතුයි. ජනතාවගේ අවශ්‍යතාවයන් අපට ඉතා හොඳින් වැටහෙනවා. නමුත් ආණ්ඩුකරණය දේශපාලන කතා පැවැත්වීම තරම් පහසු නැහැ. අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකියි. විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ජීවිත කාලය පුරා මුහුණ දුන්, ජීවිත කැප කළ මෙම ප්‍රදේශවල ජනතාව මෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සිහිපත් කරමින් මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ස්ථානයේම ස්මාරකයක් ඉදිකිරීමටද කටයුතු කරන ලෙස ඉදිකිරීම් භාර සමාගමෙන් ඉල්ලීමක් කිරීමට මා බලාපොරොත්තු වනවා."
ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඩබ්. ඩී.වීරසිංහ මහතාගේ ආරාධනයෙන් අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජෙගදීෂන් මහතා, ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍යතුමා නියෝජනය කරමින් ටී එම්. වී. පී පක්ෂයේ ලේකම් පී ප්‍රශාන්තන් මහතා, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ ගමගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වී එස් වීරකෝන් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.