නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාතෙන් උපයන ආදායම වැඩි කළයුතුයි

    ජනවාරි 07, 2024

    තැපැල් දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාතෙන් උපයන ආදායම 10% දක්වා වැඩි කළයුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(06) මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.තැපෑලෙන් ලැබී ඇති ආදායමෙන් 54%ක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද හෙතෙම පැවසීය.

    .

    තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. කෝටි 45ක ආයෝජනයකින් ඉදිකළ මෙම පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණය තුල නැගෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය,ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය,දිසා පාලන නිලධාරී කාර්යාලය,දිසා ගණකාධිකාරී කාර්යාලය, තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක්  ස්ථාපනය කර ඇත.

    උත්සවය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "පසුගිය වසර කිහිපය තුළ රට තුළ ඇති වූ ආර්ථික අර්බුද හමුවේ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක ඉදිකිරීම් අතරමග නතර වුණා. තැපැල් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මෙම අමාත්‍යංශයේ වගකීම බාරගැනීමෙන් අනතුරුව, ගොඩනැගිළි සඳහා මුදල් අනුමත නොකරන අවස්ථාවක විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙහි ඇති වැදගත්කම පිළිබඳ සලකා කැබිනට් මණ්ඩලය මඟින් ඊට මුදල් අනුමත කරගනු ලැබුවා. පෞද්ගලික කොන්ත්‍රාත් තුළින් තොරව පිරිමැසුම්දායක සහ ලාභදායි ලෙස එහි ඉදිකිරීම සිදු කරනු ලැබුවේ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව සහ CECB ආයතනය විසින්.

    2020/2021/2022/2023 වසර වල කිසිදු ප්‍රාග්ධන වියදමක් දැරිය නොහැකි මට්ටමේ ආර්ථික අර්බුදයකට රටක් වශයෙන් අප මුහුණ දුන්නා. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සෑම රජයක්ම රටේ ආදායමට වඩා වැඩිපුර වියදම් කරමින්, අයවැය පරතරය පියවා ගැනීම සඳහා  දේශීය හා විදේශීය වශයෙන් ලබාගැනීමත්, රාජ්‍ය දේපළ විකුණා දැමීම, අසීමිත ලෙස මුදල් මුද්‍රණය වැනි වැරදි ආර්ථික ක්‍රියාමාර්ග වල අවසන් ප්‍රතිඵලය ලෙස දැවැන්ත ආර්ථික අර්බුදයක් සහ ණය අර්බුදයක් ඇති වුණා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස බංකොලොත්භාවයට පත්වීමට අපේ රටට සිදුවුණා.

     පැවති සෑම රජයක් විසින්ම සිදුකළ සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුකර තිබෙන්නේ විශාල ලෙස විදේශීය ණය ලබා ගැනීම තුළින්. පසුගිය වසර දෙක තුළම ඒ ලබාගත් ණය ගෙවීම සිදුවී නැහැ. ඒ තුළ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන, මිත්‍ර රටවල්, දේශීය හා විදේශීය ආර්ථික විශේෂඥයින් සියල්ලගේ සහාය ලබා ගනිමින් ණය නැවත ගෙවීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවා. ජනාධිපතිතුමාද පෞද්ගලිකවම රටවල් රැසක රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කරමින් මේ පිළිබඳ අවසන් එකඟතාවයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

     ඒ අනුව ගෙවීමට නියමිත ණය ප්‍රමාණයෙන් 37% ඉදිරි වසර පහ තුළ ගෙවීමට සැලසුම් කර තිබෙනවා.තවත් 51% ක්‌ වසර හයත් වසර විස්සත් අතර කාලයක් තුළ ගෙවිය යුතුයි. තවත් 12%ක්‌ වසර විස්සකින් අනතුරුව ගෙවීමට නියමිත වනවා. එමනිසා 2048 දක්වා මෙරට කවුරුන් බලයට පත්වුවත් මෙම ණය අඛණ්ඩව ගෙවීමට බැඳී සිටින බව අවබෝධ කරගත යුතුයි. ඒ වෙනුවෙන් වර්ෂයෙන් වර්ෂයට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. රටට සැබවින්ම ආදරය කරන දේශපාලන නායකයකු නම් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන යෑමට දිවුරා පොරොන්දු විය යුතුයි. එසේ නොවුවහොත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ.

     එමනිසා ඉතාමත් කැපවීමෙන්, මහන්සියෙන් ජනාධිපතිතුමා ඇතුළු රජය සකස් කරගෙන තිබෙන මෙම වැඩපිළිවෙළ තුළින් මේ වසරේ,රටේ සංවර්ධනයේ අලුත් ආරම්භයක් ඇතිවනු ඇති. ඒ අනුව මේ වනවිට රටේ සියලුම ප්‍රදේශවල  අතරමඟ නතර වී ඇති මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ගවල සංවර්ධනය උදෙසා රුපියල් ලක්ෂ 500ක්‌ වෙන්කර තිබෙනවා. මෙම වසර තුළ මාර්ග කිලෝමීටර් 1500ක්‌ කාපට් යොදා සංවර්ධනය කිරීමට නියමිතයි.

    තැපෑල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54% ක්‌ මේ වන විට උපයනු ලබන්නේ බස්නාහිර පළාතෙන්.. ඊට සමගාමීව නැගෙනහිර පළාතෙන් උපයන ආදායමද 10% ඉලක්කය දක්වාවත් වැඩිකල යුතුයි.ඒ ඉලක්ක වෙත ලඟා වීම සඳහා මේ වසර තුළ නැවත වරක් රට වැඩ කරන රටක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා."

    ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya