නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීකරණය සඳහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 7 වනදා සිට තාවකාලිකව වසා දැමේ

    ජනවාරි 05, 2024

    පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 07 වනදා සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වන අතරතුර දී යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.

    එහි දී පසුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් උතුරු දුම්රිය මාර්ගය වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් විශාල ආයෝජනයක් සිදු කරන ලද බවත් ඒ යටතේ මේ වන විටත් අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කිරීමට හැකි ආකාරයෙන් නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇති අතරම එළඹෙන හත් වැනිදා සිට ආරම්භ කෙරෙන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව තවත් වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 07 වනදා සිට වසා දමන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අති විශාල පිරිවැයක් දරමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව භාණ්ඩ සහ මගී ප්‍රවාහනයටත් සංචාරක ව්‍යාපාරයටත් ගැලපෙන ආකාරයේ පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම ඉතාමත් වැදගත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකදී උතුරු දුම්රිය මාර්ගය පහසුවෙන්ම විදුලියට පරිවර්තනය කිරීමට හැකියාව පවතින බවත් ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    පවතින මූල්‍ය තත්ත්වය යටතේ රජයට නව ආයෝජන සඳහා මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බැවින් පුද්ගලික අංශයටද සංචාරක දුම්රිය සඳහා  ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්තා ලබාදීම කාලෝචිත වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    යාපනය වෙළඳ සංගමය සමග එකඟතාවයෙන් කොළඹ යාපනය අතර භාණ්ඩ ප්‍රවාහන සේවා  ආරම්භ කිරීම, තිරිඟු පිටි ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැපයීම වැනි නව විදේශ විනිමය ඉපැයුම් මාර්ග සඳහා යොමුවීම තුළින් පවතින ආර්ථික අර්බුදයට නිර්මාණශීලී විසඳුම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට දායක විය හැකි බව ද මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව බණ්ඩාර මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, යාපනය දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya