මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් 2024 වසර ආරම්භ වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පරිත්‍රාණ ධර්ම දේශනයෙන් මුළු රටටම ආශිර්වාද එක් කරමිනුයි. එය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සෑම වසරකම අඛණ්ඩව සිදුකරන ආශීර්වාදාත්මක වැඩසටහනක් බවට පත්කිරීමට කටයුතු කර තිබෙනවා.
අප මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා අවස්ථාවේ රටේ පැවති පොදු මතය වූයේ දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදා ගොඩ ගත නොහැකි රාජ්‍ය ආයතනයක් බවයි. බොහෝ දෙනාගේ මතය වූයේ එය පුද්ගලිකකරණය කළ යුතු බවයි. නමුත් ඊට වඩා වෙනස් ලෙස කල්පනා කරමින් මා සියලු වෘත්තිය සමිති සමඟ එකඟතාවයක් සහිතව ප්‍රචණ්ඩත්වයෙන් තොරව, සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ගැටළු විසඳා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවා.
මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ මෙරට ක්‍රියාත්මක වන අති දැවැන්ත ඉදිකිරීම් සමාගම්වල මූල්‍ය ශක්තිය බිඳ වැටී තිබෙනවා. මෙතෙක් රටට අවශ්‍ය සියලූම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යටිතල පහසුකම් උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ලට වැය කර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලෙස ලබාගත් මුදල්. දැනට කිසිදු විදේශ ණයක් ලබාගැනීමේ හැකියාවක් ද රටට නැහැ. මේ සියලු අපහසුතා අතරේ වුවත් 2019 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර තුනක් පමණ ඇනහිට තිබුණා. ඒ අනුව පසුගිය වසරේ ආරම්භ කෙරුණු අනුරාධපුර සිට ඕමන්ත දක්වා එහි පළමු අදියර මේ වනවිට අවසන් කර තිබෙනවා. එළඹෙන සතියේදී එහි දෙවන අදියර ද ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා ලබාගන්නා ණය සහ පොලිය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඉපයීමක් නොමැති නම් නැවත ණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු නියම කළ යුතුයි. ණය ලබාගත නොහැකි නම් ඊළඟ විකල්පය වන්නේ ආදායමක් ලබා ගත හැකි පරිදි පවතින අනෙකුත් වත්කම් නිසි පරිදි කළමනාකරණය කරමින් පෞද්ගලික අංශයට ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ඇති කිරීමයි.
ඒ අනුව ස්ටේෂන් ප්ලාසා සංකල්පය යටතේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව දුම්රිය දෙපාර්තමේන්තුවේ අයිතිය එලෙසින්ම ලබා ගනිමින් පෞද්ගලික ආයෝජන මගින් එම ස්ථාන සංචාරක හෝටල්, සුපිරි වෙළඳසැල්, දුම්රිය නගර වැනි පලදායි ව්‍යාපෘති සඳහා අවස්ථාව ලබාදීම සඳහා අයවැයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේ වනවිටත් එම සංකල්පය ක්‍රියාත්මක වනවා. ඌණ උපයෝජිත දුම්රිය වත්කම් එවැනි ආකාරයෙන් ඵලදායිව යොදා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. මීට පෙරද පිට කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව එවැනි යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. නමුත් කිසිදු ආයෝජකයෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. ආයෝජකයින්ට අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේම ආකල්පමය වශයෙන් වෙනසක් ඇතිවිය යුතුයි. අලුත් වර්ෂයේ අලුත් ආකාරයට කල්පනා කරමින් ඒ වෙනස වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
අනුරාධපුර විසල් නගර සංකල්පය යටතේ දුම්රිය කේන්ද්‍ර කරගනිමින් සුවිශාල ප්‍රවාහන මධ්‍යස්ථානයක් මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීම උදෙසා එහි යටිතල පහසුකම් වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. ඒ තුළින් පළාත් තුනක, දිස්ත්‍රික් දහයකට සෘජු ප්‍රතිලාභ ලබාදිය හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩම් දිගු කාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා වන ඵලදායි යෝජනා ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් නිසි පරිදි කළමනාකරණය තුළින් සහ වානිජමය වශයෙන් ඵලදායි ව්‍යාපෘතිවලට එළඹීම තුළින් කෙටි කාලයක් තුළ විශාල වෙනසක් ආයතනය තුළ සිදු කළ හැකි වනවා. එමෙන්ම කළමනාකරන කාර්යක්ෂමතාවය ඇති කිරීම උදෙසා දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. සියලු දෙනාගේම දායකත්වයෙන් අනාගත පරපුර උදෙසා ජාතිය සතු වත්කමක් වන දුම්රිය දෙපාර්තමේන්තුව ඵලදායි සහ කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා සියලු දෙනාම දායක විය යුතුයි."
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු කාර්ය සමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.