හෝමාගම අධ්‍යාපන කලාපයේ ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතියක් වන "වර්ණෝදය සුහුරු පාසල් ව්‍යාපෘතිය" පිළිබඳව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29)විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ප්‍රදේශයේ අධ්‍යාපන නිලධාරීන් විසින් ජනතා සහභාගීත්වය ද සහිත ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුමක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී පාසල් ගොඩනැගිලිවල වර්ණාලේප කිරීම, අබලන්ව පවතින වහල ඇතුළු සුළු අලුත්වැඩියාවන් සිදු කිරීම, තෝරාගත් පාසල්වල සුහුරු පන්ති කාමර ආරම්භ කිරීම ඇතුළු යෝජනා රැසක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය.
එහිදී හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර, උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දීම ඇතුළු සංකල්පයන් තුළින් ලද අත්දැකීමට සහිතව මෙම ව්‍යාපෘතිය වඩාත් සාධනීය ලෙස ප්‍රතිඵල පෙන්විය හැකි අනෙකුත් අධ්‍යාපන කලාපයන්ටද ආදර්ශයක් වන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායි වනු ඇති බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
විශේෂයෙන්ම වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව තුළ මෙරට පවතින යල්පැන ගිය සුපුරුදු විභාග ක්‍රමය වෙනුවට අනාගත තාක්ෂණික ලෝකයේ ඉල්ලුමට සරිලන වෘත්තිකයින් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් බවට මෙරට අධ්‍යාපනය පත්කිරීමට ඩිජිටල් තාක්ෂණය සමග අත්වැල් බැඳගන්නා මෙම සුහුරු පන්ති කාමර සංකල්පය ඉතාමත් වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විටත් සිසුන් විශාල පිරිසක් සාමාන්‍ය පෙළින් අනතුරුව විදේශීය විශ්ව විද්‍යාල හා සම්බන්ධව උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපනය හැදෑරීමට යොමුව ඇති බවත් ඒ තුළින් කෙටි කාලයක් තුළ අධ්‍යාපනය හමාර කර ඉහළ වැටුප් තලවල පිහිටි වෘත්තිකයින් බවට පත්වීමට ඔවුන්ට හැකි හැකි වී තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා අවස්ථාව හිමිව ඇති කොළඹ කේන්ද්‍ර කරගත් සුපිරි පාසල්වල සිසුන්ට හිමිවන අවස්ථාව කොළඹින් බැහැර ගම්බද ප්‍රදේශවල දරුවන්ටද උදාකර දීම වත්මන් වැඩිහිටි පරපුරේ වගකීමක් වන බවද පෙන්වා දුන්නේය.
මෙම සියලු අරමුණු මූලික කරගනිමින් එළඹෙන වසරේ මුල් මාස කිහිපය තුළ පළාත් සභාව හරහා ලැබීමට නියමිත ප්‍රතිපාදන යොදා ගනිමින් ඒ හා සමගාමීව සෑම විද්‍යාලයකම දෙමාපියන්, ආදි ශිෂ්‍යයින්, ඇතුළු දානපතියන්ගේ ද මූල්‍ය සහ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පැමිණ සිටි නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක මහතා, හෝමාගම කලාපයේ කලාප අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.