ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දෙවන අදියරේ භූමිතෙල් බෙදාදීම සිදුවිය.
මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇත. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගත හැකිය. මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කියා සිටියේ චීන රජයෙන් ලබාදුන් මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස එක් දින ධීවර යාත්‍රා වෙත ලබා දීමට කටයුතු කළ බවයි.
"ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාවක් තුල වුණත් අපි ධීවර ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපි මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000ක් (හතළිස් දෙලක්ෂ පනස් දහසක්) ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරනවා. මෙම දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ විතරක් යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව ලබනවා."
චීන රජය වෙත විශේෂ ස්තූතියක් පිරිනැමීමට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කටයුතු කලේය. එසේම මෙම වැඩසටන වඩාත් ඵලදායී සහ විනිවිදභාවයකින් ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල හේතුවෙන් අධික ලෙස පීඩනයට පත්වූ මෙම ධීවරයන්ට මෙමගින් සහන සැලසෙනු ඇත.
මෙම අවස්ථාවට බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී. පෙරේරා මහතා, ධීවර දෙපාර්තමේන්තුව සහකාර අධ්යක්ෂ චමිල කහඳවල මහතා, බේරුවල ධීවර වරාය කළමනාකරු එරංග එඩ්වඩ් දයාමාල් මහතා ඇතුළු බේරුවල ධීවර වරායේ කාර්ය මණ්ඩලය, ධීවර සංස්ථාවේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු ඉසුරු දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.