නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු පත්වීම් ලබා දීමේ දී පළාතේ පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතුයි - අග්‍රාමාත්‍ය

    ඔක්තෝබර් 01, 2023

     

    ගුරු පත්වීම් ලබා දීමේදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතුයි - අග්‍රාමාත්‍ය

    මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්වීමට ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍යයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන්, අතර හමුවක් 26 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

    රටේ තිබෙන ආර්ථික, දේශපාලන හා පරිපාලන තත්ත්වය සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙළ හොඳින් ක්‍රියාත්මක කර ගැනීම අවශ්‍යයි. දැනටමත් මහජන නියෝජිතයන් නැති පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

    පළාත් පාලන ආයතන වලත් වසරකට වැඩි කාලයක් ජනතා නියෝජිතයින් නැහැ. ජනාධිපතිතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් පත්කරමින් පළාත් සභාවල වැඩකටයුතුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සංවර්ධන කමිටුපත් කරමින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල වැඩ කටයුතුත් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව වැඩ කළ යුතුයි කියලා ජනාධිපතිතුමා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. ජනාධිපතිතුමාගේ නියෝජිතයින් හැටියට ආණ්ඩුකාරවරුන් සුවිශේෂ බලයක් භුක්ති විඳිනවා. රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරු හැම අංශයක්ම පිළිබඳවම හොඳ අවධානයක් යොමු කළ යුතුයි.

    බහු කාර්‍ය සේවකයින් ස්ථානගත කිරීම පිළිබඳ අවධානය වැඩිපුර යොමු කරන්න. පළාත් සභාවල සහාය ඒකට ලැබෙන්න ඕනෙ. රජයේ දෙපාර්තමේන්තු වලින් පමණක් මේක කරන්න බැහැ. සමහර දිස්ත්‍රික්කවල කුඩා ප්‍රමාණයක් පමණයි ස්ථානගත කිරීම සම්පූර්ණ කරන්න තියෙන්නෙ. මේ අයට සාමාන්‍ය පෙළ නැහැ. එන්.වී. කිව්. විශේෂ පුහුණුවක් රජය විසින් ලබා දී තිබෙනවා. එම පුහුණුව පිළිගන්නා ස්ථානයකට මොවුන් ස්ථානගත කිරීමට පියවර ගන්න.

    ගුරු පත්වීම් පිළිබඳවත් ගැටලු තියනවා. ඒ ඒ පළාත තුළම පත්වීම් දෙන්න පියවර ගත යුතුයි. එමගින් ගුරු පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි යි. වෙනත් පළාතකට හෝ දිස්ත්‍රික්කයකට යැව්වට ඒ ගුරුවරු පාසල් වල ඉන්නේ නැහැ. සමහර කලාපවල අතිරික්තයක් ඉන්නවා. අපේ අරමුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය දීම මිස සහනදායි ස්ථාන මාරු දීම නෙවෙයි. රජයේ ගුරුවරු බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ඒ ඒ පළාත් තුළම පුරප්පාඩු පිරවීම් සදහා ස්ථානගත කරන්න.

     

    හැම පළාත් පාලන ආයතනයකම ආදායම වැඩි කිරීමට පුළුවන් බව පළාත් පාලන අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් අවශ්‍යයි. උසාවි දඩ, මුද්දර ආදායම්, වෙනත් පැවරුම්, මූල්‍ය ප්‍රතිපාදන පළාත් පාලන ආයතන වලට යොමු වීම අඩුයි. සංවර්ධන කමිටු මේ පිළිබඳව අවධානය යොමුකර වියදම් සමනය කළ හැකි උත්සාහය දරන්න. හිටපු ජනාධිපතිතුමත් වත්මන් ජනාධිපතිතුමත් සූර්ය බල ශක්තිය වැඩි කරන ප්‍රතිපත්තියක හිටියා. නමුත් ප්‍රගතිය බොහොම අඩුයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා දිස්ත්‍රික් කමිටු ප්‍රමුඛත්වයක් දක්වන්න. පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම මගින් ආදායම වැඩි කරගන්න පුලුවන්. අදාල කොමසාරිස්වරුන්ට ඒ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම නිරීක්ෂණය කිරීමත් ඉතාම වැදගත්.

    ඇතැම් නීති විරෝධී ආදායම් ක්‍රම ගැන සොයා බැලිය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතාව හෝ වෙළඳාම වැඩිවී තිබෙනවා. පොලිසිය සමඟ එක්ව පළාත් මට්ටමින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉක්මන් නොවුනොත් පාතාල කල්ලි ඝාතන යුද්ධය කොහෙන් හමාර වෙයිද දන්නෙ නැහැ. මේ තත්ත්වය අනිවාර්යෙන්ම පාලනය කරගත යුතුයි. යුද්දෙ කාලෙ මහජන ආරක්ෂක කමිටු හදාගත්තා. පොලිසිය අවදියෙන් හිටියා. එවැනි ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍යයි. ඒ තුළින් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට උපදෙස් දිය යුතුයි. දරුවන්, ගුරුවරුන්, තරුණ තරුණියන් මේ පිළිබඳව අවබෝධ කර ගෙන මෙම මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි. මෙම තත්ත්වය ඉක්මනින් මෙල්ල කිරීම සඳහා ආරක්ෂක අංශ, බහුජන සංවිධාන, ආගමික නායකයින් සමඟ සාකච්ඡා කරන්න.

    පාසලෙන් පිටවන හැම දරුවකුටම විශ්වවිද්‍යාලයට යන්න බැහැ. ඔවුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ යුතුයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණයට ඔවුන් යොමු කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිලිබඳ උනන්දුවක් දක්වන්න. එහෙම නැති උනහම තමයි එක එක කල්ලි වලට මේ දරුවෝ එකතු වෙන්නෙ. තරුණ දරුවන් ඉදිරි අනාගත වැඩපිළිවෙලකට යොමු කරන්න.

    රජයට හෝ රජයට සම්බන්ධ වතු ඉඩම් හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර දහස් ගණන් ඉඩම් ඵලදායි දෙයකට යොදා ගන්නේ නැතුව නිකම්ම තියෙනවා. මෙම ඉඩම් තරුණ තරුණියන්ට කෙටි කාලයකට වගා කරන්න ඉඩ දෙන්න රජය තීරණය කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ආණ්ඩුකාරවරුන් වන මහීපාල හේරත්, විලී ගමගේ, ලලිත් යූ. ගමගේ, ඒ. ජේ. මුසම්මිල්, රොෂාන් ගුණතිලක, පී. එම්. එස්. චාල්ස්, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක සහ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya