නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්සන් ගොවිපල වල අප ජලය නිසි ලෙස බැහැර නොකරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න - ධීවර ඇමති

    සැප්තැම්බර් 12, 2023

    මන්නාරම, හලාවත ප්‍රදේශවල ඉස්සන් ගොවිපල වලින් නිකුත් කරන අප ජලය නිසියාකාරව බැහැර නොකරන සියළු ගොවිපල වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

    පසුගියදා (08) ධීවර අමාත්‍යාංශයේ පැවති ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (නැක්ඩා), ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ (නාරා) හා ධීවර අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ රැස්වීමකදී අදාල නිලධාරීන්ට ධීවර අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

    මන්නාරම හා හලාවත දිස්ත්‍රික්ක වල ඉස්සන් ගොවිපල් වලින් නිකුත් කරන අප ජලය නිසියාකාරව කළමණාකරනය නොකරන බැවින් ඒ පිළිබදව සොයා බලා කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙහිදී මන්නාරම් ප්‍රදේශයේ ප්‍රධානතම ඉස්සන් වගා පලක් වන තැප්‍රෝබේන් ආයතනයෙන් විශාල ලෙස අපජලය පරිසරයට මුදාහරින බවත් ඒ නිසා පරිසරයට විශාල හානියක් සිදු වී ඇති බවත් එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනතාව තමන් වෙත වාර්තා කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ පිළිබදව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද, සිය වගකීම් නිසියාකාරව ඉටු නොකරන නැක්ඩා ආයතනයේ එම පළාත භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එසේ ගන්නා වු ක්‍රියාමාර්ගයන් පිළිබදව තමන් වෙත වාර්තා කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    මෙම ඉස්සන් ගොවිපලවල අපජලය කළමණාකරණය පිළිබදව පර්යේෂණය කිරීම හා ඒවා නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මකවනවාද යන්න ගැන පරීක්ෂා කිරීම හා අදාල ගොවිපල හිමිකරුවන් එම පර්ෂේණන වලට අනුව ගත යුතු පියවරයන් ගැන දැනුවත් කිරීම නැක්ඩා හා නාරා ආයතන වල වගකීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම වගකීම නිසියාකාරව ඉටු කරනවාද යන්න පිළිබදව සති දෙකකට වරක් තමා වෙත වාර්තා කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉස්සන් ගොවිපලවල් හලාවත හා පුත්තලම ප්‍රදේශවල 670ක් පමණ තිබෙන බවද පසුගිය දා තමන් සංචාරය කල හලාවත කලාපයේ ඉස්සන් ගොවිපලවල් 237ක් නිරීක්ෂණය කල බවත් එහිදී මෙම අප ජලය කළමණාකරනයක් සිදු නොවන බව නිරීක්ෂණය කල බවද ඒ පිළිබදව නාරා හා නැක්ඩා ආයතනය විසින් සොයාබැලීම වගකීමක් වන බවද පැවසීය.

    එමෙන්ම නැක්ඩා, නාරා ආයතනප්‍රාදේශීය ලේකම්, වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් හා පරිසර අධිකාරිය යන ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් අමාත්‍යවරයා විසින් පසුගිය දා පත් කරන ලද අතර එම කමිටුව දැනට ගොවිපලවල් 176ක් නිරීක්ෂණය කර ඇති බවත් ඉතිරි ගොවිපලවල් නිරීක්ෂණය කොට අමාත්‍යවරයාට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බව නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළේය.

    මෙහිදී නන්දිකඩාල් කලපු සංවර්ධනය පිළිබදවද සාකච්ඡා වු අතර මන්නාරම එරුක්කුලම් ප්‍රදේශයේ පවතින ඉස්සන් ගොවිපල පිළිබදවද එම ගොවිපල වලින් පිටකරන අපජලය නිසා සිදුවන හානිය පිළිබදව අමාත්‍යවරයා මෙහිදී විමසීය. අප ජලය කළමණාකරනය කිරීම සදහා වැඩ පිළිවෙලක් නොමැති ගොවිපල සදහා මාස 06ක් තුලදී සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් තනි තනිව මේ සදහා ක්‍රියාමාර්ගයන් සකස් කිරීමට නොහැකි ගොවිපලවලට කිහිපයක් එකතු වී අපජලය බැහැර කිරීමට සුදුසු ටැංකි සකස් කර ගන්නා ලෙසට උපදෙස් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා එම නිළධාරින්ට දැනුම් දුන්නේය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, නැක්ඩා ආයතනයේ සභාපති ආචාර්ය බී. විජේරත්න හා නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසෝකා මහත්මිය ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya