නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව

    සැප්තැම්බර් 09, 2023

    අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හිමි වි තිබේ.

    ඒ අනුව එම නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි චාදිකා යහම්පත් මෙනෙවිය වැඩසටහන සඳහා සහභාගි වූවා ය.

    සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගෝලීය වශයෙන් කාන්තා සහභාගිත්වය වර්ධනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණක් වේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරන සුහුරුලිය වැඩසටහන මඟින් මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට දක්වන ලද දායකත්වය ශ්‍රී ලංකාවට මෙම නියෝජනය ලබා ගැනීමේ දී ඉතා වැදගත් නිර්ණායකයක් විය.

    සුහුරුලිය වැඩසටහන යටතේ මේ වන විට මෙරට ග්‍රාමීය කාන්තාවන් 17,000ක් ඍජුව සහ තවත් 175,000ක් වක්‍රව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට හැකි වී තිබේ. ඔවුන් කාන්තා ව්‍යවසායිකාවන් වශයෙන් මෙරට ජාතික ආර්ථීකයට පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 1.2ක මුදලක් උත්පාදනය කර දී තිබේ. සුහුරුලිය පළමු අදියරේ ලද ඉතා ඉහළ සාර්ථකත්වය මත මේ වන විට එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    ගෝලීය වශයෙන් කාන්තා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයටත්, ගෝලීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමටත්, ගෝලීය කාන්තා වැඩසටහන් මෙහෙයවන පුද්ගලයින් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ දැක්ම සහ අදහස් ලබා ගැනීමටත් මෙහි දී හැකි වූ බවත් සුහුරුලිය දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන ශක්තියක් වන බවත් චාදිකා යහම්පත් මෙනෙවිය පවසයි.

    දෙසතියක් පුරා පැවැති මෙම වැඩසටහනේ දී වෘත්තිකයින් මෙන් ම ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් සාකච්ඡා, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වන ලද අතර සයිබර් අවකාශයේ කටයුතු කිරීමේ දී ස්ත්‍රී පුරුෂ පරතරය අවම කර ගනිමින් ගෝලීය සාකච්ඡාවල දී කාන්තා අදහස්වලට වැඩි අවස්ථාවක් ලබා දීම මෙම වැඩසටහනෙහි තවත් එක් වැදගත් අරමුණක් විය.

    රටවල් රැසක් නියෝජනය කරමින් ඒ ඒ රටවල සයිබර් අවකාශය මෙන් ම ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට ක්‍රියාශීලීව දායකත්වය දක්වන කාන්තාවන් පනහක් පමණ මෙම සහයෝගීතා වැඩසටහනට සහභාගි වී තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya