මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ධීවර ආක්‍රමණ නැවැත්වීමට උපරිම ලෙස කටයුතු කරනවා- ධීවර අමාත්‍ය

    ජූලි 08, 2023

     

     උතුරේ ධීවර ආක්‍රමණ නැවැත්වීමට උපරිම ලෙස කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ  (06) පාර්ලිමේන්තුවේ පැවති ධීවර අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී අදහස් දක්වමිනි.

    ඉන්දියානු ටෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු මුහුදු ප්‍රදේශවල කෙරෙන සාගර සම්පත් කොල්ල කෑම නවතාලීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික හා අනෙකුත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ලඟදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ඉන්දීය සංචාරයේදීද මේ පිළිබදව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිංග් මෝදී මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා  සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ආරම්භවන විට උතුරු නැගෙනහිර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමිල් නාඩු මහ ඇමතිවරයා හමුවීමට ගොස් මෙම ප්‍රශ්ණය ලංකාවේ උතුරු නැගෙනහිර දමිළ කතා කරන ජනතාවගේ ප්‍රශ්නයක් බව වටහා දී තමිල්නාඩුවේ දැනට තිබෙන මතවාදය වන ඉන්දිය ටෝලර් යාත්‍රාවලට කරදර කරන්නේ ලංකාවේ නාවික හමුදාව සහ යුද හමුදාව යන මතය වෙනස් කරන ලෙස තමන් උතුරු නැගෙනහිර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද එම මන්ත්‍රීවරුන් එම ගමන යාමට සුදානම් වන්නේ නම් තමා එයට නායකත්වය දෙන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම ප්‍රශ්නය දීර්ඝ කාලයක සිට පවතින ප්‍රශ්නයක් බවද, තමා ධීවර අමාත්‍යවරයා වු දා සිට මෙම ප්‍රශ්නය විසදීම සදහා  විවිධ වු ක්‍රියාමාර්ග ගත් බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නාවික හමුදාව දිගින් දිගටම මෙම ඉන්දියානු ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම කරගෙන යන බවද පැවසුවේය.

    මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම නාවික හමුදාව නවතා දමා ඇතියි කියා පැවසීම සම්පුර්ණ අසත්‍ය බවද ප්‍රකාශ කළේය. මෑත කාලයේදී නාවික හමුදාව එවැනි ධීවර යාත්‍රා ගණනාවක්ම අත්අඩංගුවට ගත් බවද පැවසූ අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට හා මුහුදු සම්පත් වලට වන හානිය ජාතික ප්‍රශ්නයක් සේ සලකා සියලු දෙනාගේ සහයෝගය ඇතිව රාජ්‍යතන්ත්‍රික මට්ටමින් ඉන්දීයානු මධ්‍යම රජයට හා තමිල්නාඩු ප්‍රාන්ත රජයටත් වටහා දෙමින් විසදුමක් ලබා දිය යුතු බවද පැවසුවේය.

    මෙයින් යම් කිසි දේශපාලන වාසියක් ගැනීමට යමෙක් සූදානම් වන්නේ නම් එය මේ රටේ ධීවර  ජනතාවට කරන ද්‍රෝහිකමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම උපදේශක කාරක සභාවට සහභාගී වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හා බ්ලු ඩයමන් නෞකාවෙන් සිදු වු හානිය පිළිබද නිවැරදි  තක්සේරුවක් කොට ධීවර ජනතාවට වන්දි ලබා දුන්නේද යන්න ගැන ප්‍රශ්න කළ අතර එය නිසියාකාරව සිදු වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත හා අමාත්‍යාංශයේ අතිරේක  ලේකම් දම්මික රණතුංග යන මහත්වරුන් විසින් පැහැදිලි කළහ. නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් සිය ආයතනය විසින් සාගර සම්පත් වලට සිදු වී ඇති හානිය පිළිබදව පර්යේෂණය සිදු කළ බවද පවසමින් ඒ පිළිබදව විපක්ෂ නායකවරායාට කරුණු පැහැදිලි කළේය.

    මෙහිදී පසුගියදා ධීවර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ධීවර පනතට අදාල නව රෙගුලාසි  පිළිබද උපදේශක කාරක සභාවට කරුණු වාර්තා කළ අතර ඒ අනුව ජාත්‍යන්තර මුහුදේදී අපේ බහුදින යාත්‍රා විසින් කරන ධිවර කටයුතු වලදී ජාත්‍යන්තර නීතිරීති වලට අනුව එම ධීවර කටයුතු සිදු කිරීම පිළිබදව නව රෙගුලාසි රැසක් සම්මත කර ගත් බවද පෙන්වා දුන්නේය. ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වන සංරක්ෂණ හා වෘක්ෂලතා අඥාපනත යටතේ තහනම් කරන ලද වගා කිරීම කොරල් ආනයනය අපනයනය තහනම් කර ඇති කොරල් වර්ග වගා කිරීමට හෝ අපනයනය කිරීමට නොහැකි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට සහභාගී වු නිලධාරීතුමිය පෙන්වා දුන් අතර එවැනි කොරල් වගා නොකරන බව නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය පවසන ලදි.

    ගාලු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දුන් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්පෝර්ට් ෆිෂින් මාලු ඇල්ලීම සදහා යම් යම් ස්ථානවලට බලපත්‍ර දීමට අවශ්‍ය පියවර ඉදිරි කාලයේදී ගන්නා බව ප්‍රකාශ කළේය. තවද ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව රෙගුලාසිද සම්මත කර ගත් බව පෙන්වා දුන් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර යාත්‍රාවලින් කරන වැරදි සදහා නව දඬුවම්ද මෙම රෙගුලාසි වලින් සම්මත කරගත් බව ප්‍රකාශ කළේය. මුහුදේ පවතින මාලු නිධි සොයා ගැනීම සදහා නව තාක්ෂණික වැඩ පිළිවෙලක් හදුන්වාදී ක්‍රියාත්මක කිරීමට මේ මස තුළ කටයුතු කරන බවද පැවසීය.

    මාලු මිල වැඩිවීම ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා සෑම අවුරුද්දකම මෙම මාස තුනක කාලසීමව තුළ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ වාරකන් කාලය ආරම්භ වීමත් සමග මත්ස්‍ය මිල ඉහල යන බවත් වාරකන්කාලය අවසන්වීමත් සමග  එම මාලු මිල අඩුවීමට හැකි බවද ප්‍රකාශ කළේය. තවද ස්කුබා ඩයිවිං කරන අයට ඔක්සිජන් සිලින්ඩර් 8ක් ගෙන යාමට තිබූ සීමාව නව රෙගුලාසි අනුව 10 දක්වා වැඩි කොට ඇති බවද මෙහිදී ප්‍රපැවසුවේය. නැගෙනහිර පළාතේ ඔලුවිල් වරාය හේතුකොට ගෙන ධීවර කර්මාන්තයට පැන නැගී ඇති  ප්‍රශ්ණ රාශියක් පිළිබදව ෆයිසල් කාසීම් මන්ත්‍රීවරයා කරුණු ඉදිරිපත් කළ අතර ඉතා ඉක්මණින් ඒවාට අවශ්‍ය විසදුම් සකසන බවද ධීවර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya