ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ වරදකරුවන්ට වෘත්තීය අධ්‍යාපනය සහ අධ්‍යාත්මික දියුණුවට පුහුණුවක් ලබා දීම වැදගත්

    ජූලි 04, 2023

     දඬුවම් ලබන දරුවන් 11 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම නැවත වරදකරුවන් ලෙස පැමිණිමේ සම්භාවිතාවක්

     තරුණ වරදකරුවන් සදහා භාෂාමය ප්‍රවීණතාවය ලබාදී විදේශ රැකියා සදහා යොමු කිරීමට යෝජනා

    දැනට වැරදිකරුවන් බවට පත්ව දඬුවම් විඳිමින් සිටින තරුණ වරදකරුවන් ට පවතින සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගැන්වීම අසාර්ථක බවත්, ඔවුන් සඳහා අධ්‍යාත්මික හා හැසිරීම් රටාවේ ප්‍රගතියක් ඇති කිරීමට පුහුණුවක් දිය යුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    එසේම ඔවුන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම මීට වඩා ඵලදායී බවත් එමඟින් ඔවුන්ට රැකියාවක් වෙත විවෘත වීම මෙන්ම දරුවන්ට එම වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ දී වසරක පමණ පුහුණු කාලයෙන් පසු ඉතිරි වසර 2 ක තුළ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් වැනි දෑ හඳුන්වා දීම තුළ ඔවුන් වසර 3ක නේවාසික කාලයෙන් පසු පිටවන විට යම් ආර්ථිකමය හැකියාවක් සමඟ පිටවීමට හැකිවීම මෙන්ම නැවත වරදට පෙළඹීම සිමා කරනු ඇති බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

    මේ අදහස් පළ වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ඇති වට‍රැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය හා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව යන ආයතන ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව සඳහා කැඳවූ අවස්ථාවේදීය.

    ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. වයස අවුරුදු 16 - 22 අතර වයසේදී වරදක් කිරීම හේතුවෙන් අපරාද නිතිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දණ්ඩනයක් නියම කරනු ලැබූ තරුණ වරදකරුවන් මෙම ආයතනයට ඇතුළත් කෙරේ. එම දඩුවම් කාලය සිර දඬුවමක් නොවන අතර අනිවාර්ය වසර 03ක රැදවුම් කාලයක් බවත් මෙම දරුවන්ට රැදවුම් කාලයෙන් අනතුරුව බාහිර පරිසරයේ රජයේ රැකියාවකට හෝ අයදුම් කිරී‌මට හැකි බවත් වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ ජේෂ්ඨ සහාකාර ලේකම් ඒ.වී. වජීරා දමයන්ති මහත්මිය පෙන්වා දුන්නාය.

    තරුණ වරදකරුවන් බන්ධනාගාර ගත විමේ ප්‍රවණතාව 2013 - 2022 කාලය තුළ අඩුවෙමින් පවතින බව ආයතනික දත්ත අනුව මෙහිදී පෙන්වා දුන් අතර මෙම අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වන බොහෝ දරුවන්ගේ පවුල් සම්බන්ධතා බිද වැටී ඇති බවත් රැදවුම් කාලයෙන් අනතුරුව ඇතැම් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බවත් මෙහිදී අනාවරණය විය.

    වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් අධ්‍යාපනය ලබා දෙන අතර එහි පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබේ. එහි දරුවන් සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නමුත්, ඉන් සමත්වන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතී. එනම් 2014 වර්ෂය තුළ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් ප්‍රමාණය 16ක් වුවද ඔවුන් අතරින් සමත් වූ දරුවන් ප්‍රමාණය එක් අයෙකී. 2021 වසරේ දී සමත් වී ඇත්තේද එක් දරුවෙක් පමණි.

    පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමේ නීතියත් සමඟ එම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ඵලදායී ලෙස ලබා දීම ගැටලුවක් බව නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී. මෙම ප්‍රතිපත්ති වෙනස් කල යුතු බවට හඳුනාගන්නා ගත් කාරක සභාව මෙම ගැටලු පිලිබඳ මීට අදාල ආයතන හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පල කළේය.

    තරුණ වරදකරුවන්ගෙන් කොපමණ පිරිසක් නැවතත් වැරදිකරුවන් විමේ සම්භාවිතාවක් පවතී ද යන්න කාරක සභාව තුළ ප්‍රශ්නයට නැඟුන අතර ඒ සදහා නිලධාරීන් පෙන්වා දුන්නේ දරුවන් 11 දෙනෙකුගෙන් 9 දෙනෙක් නැවත වරදකරුවන් ලෙස පැමිණිමේ සම්භාවිතාවක් පවතින බවය.

    මෙම දරුවන් සදහා භාෂාමය ප්‍රවීනතාවය ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ කරමින් මෙම දරුවන් විදේශ රැකියා සදහා යොමු කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය.

    බන්ධනාගාර තුළ පවතින අධික ධාරිතාව වළක්වා ගැනීම සදහා ප්‍රජා පාදක විශෝධන  දෙපාර්තමේන්තුව යොදා ගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කල යුතු බව කාරක සභාව මෙහිදි පෙන්වා දුන්නේය. දැනට ප්‍රජා පාදක විශෝධනයට යොමු විය යුතු එහෙත් මහේස්‍ත්‍රාත්තුමා විසින් බන්ධනාගාර ගත කොට ඇති ප්‍රමාණයෙන් 50% ක් පමණ විශෝධනයට යොමු කල හැකි පිරිස බවද මෙහිදි සාකච්ඡා
    කෙරිණි. මෙය ඉතා ගැටලුකාරී තත්වයක් ලෙස කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් මහේස්‍රාත්වරු දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය. රාජ්‍ය ආයතන සලකා බැලීමේදී එකම කාර්ය සඳහා ආයතන කිහිපයක් පැවතීම සහ ඒ ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීම ගැටලුවක් ලෙස තරුණ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    ව්‍යාපෘති ඉදිරිපත් කිරිමේදී, හරිත ව්‍යාපෘති, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, හා පානීය ජල බෝතල්කරණය වැනි ව්‍යාපෘති හඳුන්වා දීම මඟින් ආදායම් උත්පාදන ක්‍රියාවලි නිර්මාණය කල හැකි බවටද ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී.
    එසේම රජයේ උපකාරයක් ඇතිව යම් ආදායමක් උපයන තැනැත්තන් හට එම මුදලින් කොටසක් හෝ නැවත රජයට ගෙවිමේ හැකියාව තිබිය යුතු බවත් එම මුදලින් තවත් එවැනි පිරිස් හට මෙවන් ව්‍යාපෘති කිරීමට ආයෝජනය කිරීම තුල මහජන මුදල් මතම රාජ්‍ය ආයතන යැපිමෙන් ඉවත්ව ඒවායේ පාලනයට අවශ්‍ය මුදල් එම ආයතනයන්ටම සපයා ගනිමේ අවස්ථාව හිමි වන බවත් තරුණ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ. විශ්ව විද්‍යාල හරහා සිදුවන පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදකයින් හා සම්බන්ධ කිරීම වැදගත් බවද ඔවුන් විසින් අවධාරණය කරන ලදී.
    මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  ජී.ජී. පොන්නම්බලම්,  රාජීකා වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එත්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya