අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ඉඩම් ගොඩ කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණයි

    මාර්තු 12, 2023

    අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් කුඹුරු ඉඩම් ගොඩ කිරීමට කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කෙරේ

     සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට සති දෙකකින් රැස්වීමක්

    කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා (07) උපදෙස් දුන්නේය.

    පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් අවධානයට යොමු කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

    එසේම මීළඟ යල කන්නය සාර්ථක කර ගැනීම සදහා පොහොර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට අමාත්‍යවරයා සහතික විය. මේ අනුව මීළඟ කන්නය සදහා මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බවත් යූරියා රු. 10000 ක් හෝ ඊට අඩු මුදලකටත්, බන්ඩි පොහොර දැනට පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකටත් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    එසේම රුපියල ශක්තිමත් වීම තුළ එහි වාසියද ගොවියාට හිමිවන බවත් ගොවිතැන සදහා වියදම හැකිතාක් අඩු කිරීමට රජය උපරිම මැදිහත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමුවිය.

    මෙම කෙටුම්පතෙහි අවශ්‍යතාව පිළිබඳව නීතිඥ ලලනි එස් පෙරේරා මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් විසින් මෙහිදී අදහස් දැක්වූහ.

    සත්ව සුබසාධනය සදහා දැනට මෙරට පවතිව නීතිය ඉතා පැරණි බවත් එය ප්‍රමාණවත් නොවන බවත් ඔවුහු පැවසූහ. දැනට මෙරට සත්ව සුබ සාධනය සදහා පවතින්නේ 1907 දී සම්මත වූ සත්ව හිංසනය වැළැක්වීමේ පනත බවත් නව ජාත්‍යන්තර නීති අනුව සත්ව සුබසාධනය සදහා නව පනතක් සකස් විය යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

     

    සත්ව සුබසාධනය සදහා නව නීති සකස් විය යුතු වුවද කෘෂිකාර්මික හා සංස්කෘතික කටයුතු සදහා සතුන් යොදා ගැනීමේදී ඊට බලපෑමක් නොවන ලෙස මෙම නීති සකස් විය යුතු බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එබැවින්, මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කොට අවසන් කෙටුම්පත සකස් කළ යුතු බවට ඔවුහු පැවසූහ.

    මේ අනුව,මීට අදාළ ලිඛිත ඉල්ලීම් ද සහිතව නැවත සති දෙකක කාලයකින් අමාත්‍යාංශ මට්ටමින් රැස්වී සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය විය.

    කාරක සභා සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් ශ්‍රීතරන්, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya